බ්‍රෝකර් කත සහ මේසන් බාස් ගහපු සුපිරි ගේමක් මාට්ටු වෙයි..

Police
By Thaya Mar 11, 2021 09:37 PM GMT
Thaya

Thaya

Report

රුපියල් කෝටි 75කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 74යි ග්‍රෑම් 975ක් සමග සැකකරුවකු සහ සැකකාරියක මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ (10වැනිදා) දෙයියන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය 38 හැවිරිදි නුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සැකකරු 29 හැවිරිදි කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මත්ද්‍රව්‍ය දැනට විදෙස්ගතව සිටින මිදිගම හරක් කටා නමැති ජාවාරම්කරුගේ බවට අනාවරණය වී ඇත. මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට ලද තොරතුරක් මත දෙනගම ​බෝකොටුව අසල මුලටියන මාර්ගයේ කළ පරීක්ෂා කිරීමකදී එහි තිබී හෙරොයින් කිලෝ දහයකට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව කළ ප්‍රශ්න කිරීම්වලදී එම ප්‍රදේශයේම මාර්ගයක් අසල සඟවා තිබී කිලෝ 60කට අධික හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සමග සබඳතා පවත්වමින් සිටි ත්‍රිරෝද රථයක් පලාගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වෘත්තියෙන් පෙදරේරුවෙකි. සැකකාරිය විදෙස් රැකියා තැරැව්කාරියක් ලෙස කටයුතු කළ කාන්තාවකි.

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනැවිත් තිබෙන මෙම හෙරොයින් රහසිගත ස්ථානවල සඟවා කොටස් වශයෙන් කොළඹ, මීගමුව ප්‍රදේශවලට ගෙනයාම මොවුන්ට පැවැරී තිබූ බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකරයි.