BBC රූපවාහිණි සහ ගුවන් විදුලි සේවාවන් විකාශය කිරීම නතර කෙරේ.

BBC
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

BBC ලෝක සේවාව තම රට තුළ විකාශය කිරීම චීනය විසින් අත්හිටුවා තිබෙනවා.ඒ අනුව BBC රූපවාහිණි සහ ගුවන් විදුලි සේවාවන් එරට තුළ විකාශය කිරීම නතර වනු ඇත. BBC ලෝක සේවය විසින් චීනයේ කොරෝනා වෛරස් වසංගතය සහ සුළු ජාතික උයිගූර්වරුන්ට සීමාවන් පැනවීම දිගින් දිගටම විවේචනය කරනු ලැබුවා. එමෙන්ම බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනය මගින් චීනයේ රාජ්‍ය රූපවාහිණී සේවාව CGTN නාලිකාවේ විකාශනය බ්‍රිතාන්‍යය තුළ විකාශය කිරීම පසුගියදා අත්හිටවනු ලැබුවා. චීනය විසින් BBC ලෝක සේවාව අත්හිටුවීමට එයද හේතු වී ඇති බවද වාර්තා වනවා. චීනයේ නව තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් BBC මාධ්‍ය ආයතනය කියා සිටියේ එය බලාපොරොත්තු කඩවීමේ සිදුවීමක් බවයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනය විසින් ගනු ලැබූ මෙම තීරණය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ චීනය විසින් නිදහස් මාධ්‍ය මර්දනය කිරීම සිදුකරන බවයි. චීනය විසින් බීබීසි ලෝක සේවයේ විකාශන කටයුතු තහනම් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සිය විරෝධය පළ කර තිබේ. චීනය සදහන් කර ඇත්තේ බීබීසි ලෝක සේවය විසින් විකාශන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් වැරදි සහ අසාධාරණ ලෙස විකාශන කටයුතු වල නිරත වීම මෙම තහනම පැනවීමට හේතුව බවයි. කෙසේවෙතත්, බීබීසිය මගින් උයිගුර් සුලුතරයේ අයිතිවාසිකම් පිලිබද සාකච්ඡා කිරීම මෙම තහනමට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. මේ සම්බන්ධයෙන් ටිවිටර් පණිවිඩයක් තබමින් බ්‍රිතාන්‍යය විදේශ ලේකම් ඩොමිනික් රාබ් සදහන් කර ඇත්තේ චීනය දිගින් දිගටම මාධ්‍ය සහ අන්තර්ජාල අයිතීන් උල්ලංඝනය කරන බවයි.