මඩකලපුවම කම්පාකරමින් මාරක අනතුරක් - දෙදෙනෙක් මරුට 6ක් රෝහලට
මඩකලපුව - කොට්ටක්කාර් ප්‍රධාන මාර්ගයේ කෝට්ටෙයිකල්ලාරු, කන්නගී අම්මන් කෝවිල අසලදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගය අසල සිටි සිසුන් පිරිසකගේ ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
ඊයේ (22) රාත්‍රී 9.21 ට පමණ තරුණයින් සිව්දෙනෙකු යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් පසු එක් යතුරුපැදියක් විසිවී ගොස් උපකාරක පන්ති අවසන් වී නිවෙස් බලා යමින් සිටි සාමාන්‍ය පෙළ සිසුන් තිදෙනෙකුගේ ඇඟ මතට කඩා වැදී තිබේ.
අනතුරින් 18 හැවිරිදි කිෂොන් නැමැති තරුණයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර, රෝහල්ගත කිරීමෙන් පසුව 17 හැවිරිදි කතිසන් නැමැති අනෙක් තරුණයා ද මියගොස් ඇත.
තුවාල ලැබූවන් අතර ගැහැණු ළමයින් 3 දෙනෙකු සහ පිරිමි ළමයින් දෙදෙනෙකු වන අතර, බරපතළ තුවාල ලැබූ එක් පාසල් ශිෂ්‍යාවකගේ පාදයකට දැඩි ලෙස හානි සිදුව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.