පරිසර ආරක්ෂණ වැඩ පිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය..

Australia Government Enviroment
By Thaya Feb 25, 2021 05:48 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාවේ පරිසර ආරක්ෂණ වැඩ පිළිවෙළට ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් David Holly මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් David Holly මහතා ඊයේ (23) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු හමුවු අවස්ථාවේ මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වුහ. මෙම සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් Amanda Jewel මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ. මෙහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේ රටේ භූ සම්පත් ගවේෂණ කටයුතු සඳහා නව තාක්ෂණික උපකරණ භාවිතා කිරිමට කටයුතු කිරීම මගින් භූ අභ්‍යන්තරයේ පවතින වටිනා ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු පුළුල් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති බව පැවැසීය. . එමෙන්ම ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණ වැඩ පිළීවෙළ ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා එම කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉහළ සංචාරක ආකර්ශණයක් සහිත කල්පිටියේ හා ආනවිලුන්දාව ප්‍රදේශවල කඩොලාන වගාවට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහාය පළ කර ඇති බව කීය. පසුගිය මාසයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය එහි ගොස් කඩොලාන වගා කිරීම සංකේතාත්මකව ආරම්භ කළ බවත්, කල්පිටිය හරිත කළාපයක් ලෙස සංවර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය රජයේ සහාය පළව ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය. එවැනිම සංචාරක ආකර්ශණයක් පවතින මාදු ගඟ ආශ්‍රිතව කඩොලාන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබා දෙන ලෙස ලේකම්වරයා පැවසීය. ඊට පිලිතුරු දුන් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණ වැඩ සටහන් සඳහා සහාය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්, ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය නිරතුරුව ලබා දීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.