නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද...අතුරලියේ රතන හිමිත් දිවුරයි.
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා වන සියලු කටයුතු මේ වනවිට සූදානම් කරඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ඒ අනුව අද දිනයේ සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 04ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
ලබන 06 වනදා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු සංශෝධන පනත් කෙටුම්පත් 06ක් විවාදයට ගැනීමට නියමිත අතර ලබන 07 වනදා ද සංශෝධන පනත් කෙටුම්පත් 10ක් විවාදයට ගැනීමට නියමිතය.
මීට අමතරව ලබන 06 වනදා පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සලසා ඇති බවද පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කරයි.
මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී උන්වහන්සේ මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සිදුවන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසුවා.
පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.
ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සිව්වන වරටයි.
අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මීට පෙර තෙවතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ අතර මෙවර උන්වහන්සේ අපේ ජනබල පක්ශය නියෝජනය කරයි.