තවත් කොවිඩ් පොකුරක්
ගම්පහ දිස්ත්‍රිකයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම යළිත් ඉහළ ගොස් තිබේ. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 229 දෙනෙකු හඳුනාඟෙන ඇති බවය. ඉන් ආසාදිතයින් 193 දෙනෙකුම සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි. එම අසාදිතයින්ගෙන් 29 දෙනෙකුම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කරන පුද්ගලයින් වන අතර ඒ අනුව එම ස්ථානයෙන් මේ දක්වා ආසාදිතයින් 75 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
මේ අතර ඊයේ (20) දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී තිබේ. කොවිඩ්-19 දෙවන රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කයේ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 19 කි. ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 03කින් හඳුනාගෙන ඇති අතර ඉන් 13 දෙනෙකුම පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා වන බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතිත ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 06 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 3375 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 3350 කට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය