කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද ? එන්නත් වල සියලු තොරතුරු.

sri lanka Covid vaccsine vaccsine pandamic
By Sithumi May 20, 2021 10:58 AM GMT
Sithumi

Sithumi

Report

පළමු සහ දෙවෙනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කළ හැකිද යන්න පිළිබඳ සායනික අත්හදා බැලීම් එක්සත් රාජධානියේ ද ක්‍රියාත්මක වේ.

එන්නත වර්ග දෙකක් ලබා දීමෙන් වෛරසයට හා එහි නව ප්‍රභේදයන්ට එරෙහිව වඩාත් පුළුල්, දිගුකල් පවතින ප්‍රතිශක්තියක් ලබා දිය හැකි ද යන්න සහ එන්නත් කිරීමේ ක්‍රියාදාමයට වඩාත් නම්‍යශීලී බවක් ලබා දීමේ පරමාර්ථයෙන් එක්සත් රාජධානිය තුළ මෙම පරීක්ෂණ පැවැත්වේ.

පළමු වරට ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක් ලබා ඇති වයස අවුරුදු පණහට වැඩි වැඩිහිටියන් 830කට වැඩි දෙනෙක් මෙම පරීක්ෂණ සඳහා සහභාගී කරගෙන තිබේ. මෙහි පළමු අදියරේ වාර්තාව මාර්තු 13 වෙනි දින නිකුත් කර තිබේ

එයට අනුව, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් පිළිවෙලින් පළමු සහ දෙවෙනි මාත්‍රා ලෙස ලබාදීමෙන් පසු වැඩිහිටියන්ට සුළු හා මධ්‍යස්ථ අතුරු ආබාධ ඇති වීමට වැඩි ඉඩක් ඇති බව හෙළි වී තිබේ. වි

විධ එන්නත් මාත්‍රාවන් මිශ්‍ර කළ විට සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැඩි වශයෙන් වාර්තා වී තිබේ. කෙසේනමුත්, මෙයින් ඇතිවන අහිතකර ප්‍රතික්‍රියා කෙටි කාලීන වන අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වී නොමැත. "එය ඇත්තෙන්ම කුතුහලය දනවන සොයා ගැනීමක් මිස අප බලාපොරොත්තු වූ දෙයක් නොවේ

," පරීක්ෂණ සිදු කරන කණ්ඩායමේ ප්‍රධානී ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය. මේ අතර, කැනඩාවේ ඔන්ටාරියෝ සහ ක්විබෙක් පළාත් දෙකෙහිම නුදුරු අනාගතයේ දී එන්නත් මිශ්‍ර කර ලබා දීමට අදහස් කරන බව පවසා තිබේ. මහාචාර්ය මැතිව් ස්නේප් පැවසුවේ පරීක්ෂණයේ සම්පූර්ණ ප්‍රතිඵල ජුනි හෝ ජූලි මාසය වන විට වාර්තා කළ හැකි බවය. කෙසේනමුත්, මෙම අධ්‍යයනය වසරක් පුරා ක්‍රියාත්මක වේ.

ලොව පුරා සෞඛ්‍ය විශේෂඥයන් පොදුවේ එකඟ වන්නේ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දීම ආරක්ෂිත බවය. ස්වේච්ඡාවෙන් පරීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සති හතරක කාලයක් තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙක ලබා දුන් අතර, ඔවුන් තුළ උණ ගතියක් නිරීක්ෂණය වී තිබේ. නමුත් ඕනෑම අනුපිළිවෙලකට ඔවුන්ට පළමු මාත්‍රාව ඇස්ට්‍රාසෙනෙකා එන්නතත් දෙවෙනියට ෆයිසර් එන්නතත් ලැබුණේ නම්, උණ ගතියක් පෙන්වීමේ අනුපාතය 34% ක් දක්වා ඉහළ ගොස් තිබේ. "

සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, ව්‍යාධිය සහ මාංශ පේශි කැක්කුම වැනි වෙනත් රෝග ලක්ෂණවල ද අදාළ වෙනස්කම් ඇති වී තිබෙනවා" යැයි මහාචාර්ය මහාචාර්ය මැතිව් ස්නේප් පැවසීය.

"මෙයින් අපට පැවසෙන එක් දෙයක් නම්, පිරුණු වාට්ටුවක හෙද හෙදියන්ට වෙනස් එන්නත් මාත්‍රා ලබා දීම ඔබ සිදු නොකළ යුතු දෙයක් යන්නයි. මොකද ඊළඟ දවසේ වැඩි දෙනෙක් වැඩට නොඑන්න ඉඩ තියෙනවා.

ලොව තවත් රටවල් මිශ්‍ර මාත්‍රාවන් භාවිත කිරීම ගැන සලකා බලති. එන්නත්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා චීනය ද මිශ්‍ර මාත්‍රා ලබා දීම සලකා බැලිය යුතු බව චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝර්ජ් ගාවෝ මෑතකදී පැවසීය.

පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා රුසියාවේ ස්පුට්නික් වී එන්නත තරමක් වෙනස් මාත්‍රාවන් දෙකකින් භාවිත කෙරෙයි. එන්නත් ලබා ගැනීම සඳහා උපදෙස් දෙන එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණ ඒකාබද්ධ කමිටුවේ සාමාජික මහාචාර්ය ජෙරමි බ්‍රවුන් පැවසුවේ ඉදිරි වසරවලදී මිනිසුන්ට, අවසානයේදී, කෝවිඩ් -19 එන්නත් මිශ්‍ර කිරීමට සිදුවනු ඇති බවය. "එය ප්‍රායෝගිකව එසේ විය යුතුයි.

මොකද ඔබ මොඩනා හෝ ෆයිසර් හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලින් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පසු, අනාගතයේදී ඔබට නැවත එකම වර්ගයේ එන්නතක් ලබා දෙන බවට සහතික වීම අපහසු වෙන්න පුළුවන්," ඔහු බීබීසී සේවයට පැවසීය. කෙසේනමුත්, මෙම පරීක්ෂණවල අවසන් වාර්තා ලැබීමට තවත් වසරකට ආසන්න කාලයක් ගතවනු ඇත.

ශ්‍රී ලංකාව තුළ එන්නත් වර්ග මිශ්‍ර කර ලබා දෙන්නේ ද?

පසුගිය සතියේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක, වර්ග දෙකකින් ලබාදීම ගැටලුවක් නොවන බවය. මැයි 11 පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"විශේෂඥයන් අදහස් දක්වලා තිබෙනවා පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකෙනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකෙනුත් ලබා ගැනීම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ ගැන ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අවසන් වශයෙන් තීන්දුවක් ගනීවි." මේ අතර, රට තුළ කොවිඩ් මර්දන එන්නත සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව අපොහොසත් වුවහොත් ඊළඟ පියවර ලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකි ද යන කරුණ සලකා බැලීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට ෆයිසර් හෝ ස්පුට්නික් වී එන්නතෙන් දෙවැනි මාත්‍රාව ලබා ගත හැකිද යන්න සලකා බලනු ඇත. නමුත් මේ ගැන තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැති අතර ලොව පුරා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ, අදාළ පරීක්ෂණවල අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසු, ලෝක සෞඛ්‍ය සංවිධානය එය අනුමත කරන්නේ නම් පමණක් එන්නත් මාත්‍රා මිශ්‍රකර ලබා දිය හැකි බවය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව ලෙසත්, දෙවෙනුව වෙනත් වර්ගයේ එන්නතක් ලබා දිය හැකි ද යන්න පිළිබඳ එක්සත් රාජධානියේ සහ රුසියාවේ පරීක්ෂණ පැවැත්වෙන බවය.

මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරියේ දී තීරණ ගන්නා අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉක්මනින් නැවත ගෙන්වීමට රජය ක්‍රියා කරනු ඇති බවට වෛද්‍යවරිය බලාපොරොත්තු පළ කළාය.

BBC සිංහල


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now