රත‍්‍රන් නිධියක් සේරුවාවිලෙන් මතුවේ.. වටිනාකම ගණනය කල නොහැකියි..

treasure gold trove Seruwawila
By Thaya Jan 12, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පවතින රත්තරන් ලෝහය සහිත දැවැන්ත නිධියක් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ සේරුවාවිල ප‍්‍රදේශයේ පවතින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් තහවුරු කරගෙන ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෑතක දී සිදු කරන ලද නැවත සමීක්ෂණයකදී හෙළිකරගත් කරුණු අනුව මෙම නිධිය තුළ රත්තරන්වලට අමතරව තඹ ලෝහය ද විශාල වශයෙන් පවතින බව තහවුරු කර ගෙන තිබේ.

මෙම රත්තරන් නිධිය සම්බන්ධව 1950 ගණන්වල මුලින්ම කරුණු අනාවරණය කරගෙන ඇතත් මෙතෙක් පැවැති කිසිදු රජයක් මෙම රත්තරන් නිධිය කැණීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත.

දැනට ලෝක වෙළෙඳ පොළේ ඉහළම වටිනාකමක් සහිත ලෝහ වර්ග දෙකක් වන රත්තරන් හා තඹ විධිමත් පරිදි මෙම නිධිය තුළින් කැණීම් කටයුතු කළහොත් අධික ණය බරින් පීඩාවට පත්ව සිටින අපේ රට ඉතාම කෙටිකලක් තුළ ආර්ථික වශයෙන් ඉහළ මට්ටමකට ගෙන ආ හැකි බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විද්‍යාඥයෝ පවසති.

මේ අතර බුත්තල කූරම්පොළ සහ හලාවත පනිරෙන්ඩාවේ පැතිර පවතින යපස් නිධි දෙකක කැණීම සම්පූර්ණයෙන්ම රජය යටතේ සිදුකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පනිරෙන්ඩාව යපස් නිධිය වර්ග කිලෝමීටර් 26 ක් පමණ පුරා පැතිර පවතින බවත් අවම වශයෙන් යකඩ ටොන් මිලියන 86 ක් එහි තැන්පත් වී ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇති බව එම නිලධාරීන් විසින් පරිසර හා කර්මාන්ත අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත.

මෙම යපස් නිධි රටේ ආර්ථික සංවර්ධනය සඳහා උපරිම ප‍්‍රයෝජනය ලැබෙන පරිදි යොදාගැනීමට පරිසර අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය අතර එකඟතාවක් ඇතිකරගත් බව මේ පිළිබඳව කරුණු දක්වන පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

කූරම්පල සහ පනිරෙන්ඩාව යපස් නිධි කැණීම් කටයුතු කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡුාවක් පවත්වා ඇති අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන අමාත්‍යවරු මෙන්ම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන් වන ආචාර්ය අනිල් ජාසිංහ, අනූෂ පැල්පිට සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ යන මහත්වරුන් ඊට සහභාගි වී ඇත.

ඇමෙරිකාව මගින් යෝජනා කර ඇති එම්. සී. සී. ආර්ථික කොරිඩෝවට මෙම රත්තරන් නිධියට අමතරව කළු රත්තරන් ලෙස ප‍්‍රකට පුල්මුඬේ ඉල්මනයිට් නිධිය ද අයත් වන බව මේ අතර පරිසරවේදීහු පෙන්වා දෙති.