සති 7ක පමණ බිළිඳියක් කොවිඩ් ආසාදිතව මියයයි

Injection
By Thaya Mar 07, 2021 08:54 PM GMT
Thaya

Thaya

Report

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ පිරිනැමෙන පළමු එන්නත් තොගය රැගත් ගුවන් යානය අද අලුයම මෙරටට ළඟා වුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එම එන්නත් තොගය භාරගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000ක් රැගත් එමිරේට්ස් සමාගමට අයත් විශේෂ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට ළගා වූයේ අද අලුයම 12.15ට පමණ. යුනිසෙෆ් ආයතනය මගින් මිලදී ගනු ලැබූ අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකාවට පිරිනැමෙන්නේ කොවිඩ් මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේයි. එය මෙරටට ලබාදීමට නියමිත 20%ක එන්නත් මාත්‍රා ප්‍රමාණයෙන් කොටසක්.

ඒ අනුව ගෙනඑන ලැබූ පළමු එන්නත් තොගය යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවා. කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන එන්නත් මෙරට කොවිඩ් 19 දැඩි අවදානම් ප්‍රදේශවල ජීවත්වන අවුරුදු 60ට වැඩි ජනතාව වෙත ලබාදීමට නියමිතයි. කොවැක්ස් පහසුකම යටතේ පළමු අදියරේ එන්නත් තොගය හිමිවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට යුනිසෙෆ් ආයතනයේ අඛණ්ඩ සහය සනිටුහන් කරනවා. අනතුරුව විශේෂ ශීතකළ ඇසුරුම්වල බහා එම එන්නත් තොගය කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකය වෙත රැගෙන ආවා.

මේ අතර, ගතවූ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 376 දෙනෙකු වාර්තා වුණා. ඉන් 16 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර, සෙසු 360 දෙනා දිස්ත්‍රික්ක 19කින් දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එම ගණන 83ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් 24ක් ලෙස වාර්තා වූයේ කැලණිය ප්‍ර දේශයෙන්. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 55ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 49 ක් වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව පිළියන්දලින් වාර්තා වූ අතර, එම ගණන 31ක්. සෙසු ආසාදිතයින් 173 දෙනා වාර්තා වූයේ දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක 16කින්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 85,335 දක්වා ඉහළ ගොස් ඇති අතර, පුද්ගලයින් 81,768 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3070ක් පමණයි. මේ අතර, ගෙවුණු දිනයේ අලුතින් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 497 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් දොඩම්ගොඩ, කොළම 9, බත්තරමුල්ල, සහ කොළොන්නාව යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බවයි. මේ අතර, කොවිඩ් ආසාදිත සති 7ක් පමණ වයසැති වැලිමඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු පසුගිය 5 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.