බස් රථ හිමියන් උත්සව සමයේ මේ දේවල් කරොත් වැඩ වරදියි
කොළඹ පීපල්ස් පාර්ක් (Peoples Park) පරිශ්‍රයේ සිට හැටන්, නාවලපිටිය සහ ඩයගම යන ප්‍රදේශ දක්වා ඊයේ (11) රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බස් රථ 7ක් අත්අඩංගුවට ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ලද තොරතුරකට අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිලධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ නියුතු නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී මෙම බස් රථ පරීක්ෂාවට ලක් කර තිබේ.
එහිදී අදාළ බස් රථ නිසි මගී ප්‍රවාහන බලපත්‍ර නොමැතිව ධාවනය කිරීමට සැලසුම් කර තිබූ බවත්, මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කර ඇති බවත් අනාවරණය වී ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම බස් රථ 7 සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි.
අලුත් අවුරුදු සමයේ මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් වැඩි ගාස්තු අය කරන සහ අනවසරයෙන් ධාවනය වන බස් රථ සොයා මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.