අලුතින් ඉදි කළ මධ්‍යම බස් නැවතුම්පොළෙහි දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට
පසුගිය 08 වැනිදා නවීකරණය කර මහජන පරිහරණය සඳහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ දේපළවලට හානි කිරීම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
බස් නැවතුම්පළේ සුභසාධක අංශය විසින් පිටකොටුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ නිලධාරීන්, ඊයේ (11) කැලණිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සොරකම් කරන ලද දේපළවලින් කොටසක් ද ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
මෙම දේපළ හානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට ද නියමිතව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.