මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
යාපනය නගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් හයදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙම සැකකරුවන් නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදී අල්ලාගත් මුහුදු කූඩැල්ලන් තොගයක් ගොඩබිමට රැගෙන එමින් සිටියදී මෙලෙස කොටුවී ඇත.
එහිදී ඔවුන් සන්තකයේ තිබූ මුහුදු කූඩැල්ලන් 939ක්, ඩිංගි යාත්‍රා දෙකක් සහ කිමිදුම් උපකරණ තොගයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 37ත් අතර පසුවන මන්නාරම සහ යාපනය වැල්වැටිතුරයි ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
මුහුදු කූඩැල්ලන් තොගය සහ අනෙකුත් උපකරණ සමඟ සැකකරුවන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.