අලුත් අවුරුද්දේ අවාසනාවන්ත තත්ත්වයක් - 6ක් මරුට
ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ඉන් එක් දරුණු අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 54.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී සිදුව ඇති අතර කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක්, ඉදිරියෙන් ධාවනය වූ සිමෙන්ති පටවන ලද ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඔවුන් තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 62 සහ 64 හැවිරිදි වියේ පසුවන්නන් බව හඳුනාගෙන ඇත.
එසේම වැලිකන්ද, මරදන්කඩවල ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ යතුරුපැදියක් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් තවත් මාරක අනතුරක් සිදුවිය.
එහිදී තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මියගිය පුද්ගලයන් 31 සහ 55 හැවිරිදි වියේ පසුවන වැලිකන්ද සහ රත්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මීට අමතරව මොරවැව, නාමල්වත්ත ප්‍රදේශයේ ද රිය අනතුරක් වාර්තා වී ඇති අතර දිවයින පුරා සිදුවූ අනෙකුත් අනතුරුවලින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.