සියල්ල උඩු යටිකුරු කරමින් මැදපෙරදිග නැවතත් යුධ ගිනි ?

Report

මැදපෙරදිග යුද්ධයට තිරසාර විසඳුමක් සෙවීමේ අරමුණින් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වුණු අමෙරිකා - ඉරාන ඉහළ මට්ටමේ සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

පාකිස්තානයේ මැදිහත්වීමෙන් ඊයේ (11) උදෑසන ආරම්භ වූ මෙම සාකච්ඡා වට කිහිපයක් යටතේ පැය 21ක් පුරා අද අලුයම දක්වා පැවැත්වුණි.

සාකච්ඡා සඳහා අමෙරිකාව නියෝජනය කරමින් උප ජනාධිපති J.D. වෑන්ස්, ස්ටීව් විට්කොෆ් සහ ජෙරාල්ඩ් කුෂ්නර් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, ඉරානය නියෝජනය කරමින් එරට කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

සාකච්ඡා අවසානයේ අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපති J.D. වෑන්ස් සඳහන් කළේ, තමන් වඩාත් යහපත් චේතනාවෙන් සාකච්ඡාවට පිවිසෙමින් අවසන් සහ හොඳම යෝජනාව ඉදිරිපත් කළත්, කිසිදාක න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැති බවට සහතිකයක් ලබාදීමට ඉරානය අපොහොසත් වූ බවයි.

න්‍යෂ්ටික වැඩබිම් විනාශ වී තිබුණද, එවැනි අවියක් නිපදවීමේ මූලික චේතනාව ඉරානය අතහැර නැති බව මෙහිදී නිරීක්ෂණය වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉරානය සමඟ සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට අසමත් වූ බව එක්සත් ජනපදය පවසයි

ඉරානය සමඟ සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණීමට අසමත් වූ බව එක්සත් ජනපදය පවසයි

මේ වන විට අමෙරිකානු දූත පිරිස Air Force 2 යානයෙන් යළි දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඉරාන විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, සාකච්ඡා අතරතුර කරුණු කිහිපයක් ගැන එකඟතාවකට පැමිණියද අමෙරිකාව ඉදිරිපත් කළ ඇතැම් කොන්දේසි අසාධාරණ සහ අයුක්තිසහගත බවයි.

පළමු සංවාදයේදීම සියලු ගැටලුවලට විසඳුම් අපේක්ෂා නොකළ බවත්, රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයකට තමන් තවමත් විවෘත බවත් ඉරානය පවසයි.

“අධික ඉල්ලීම් අත්හැරියොත් පමණයි සාකච්ඡා සාර්ථක වෙන්නේ” – ඉරානයෙන් එක්සත් ජනපදයට දැඩි පණිවිඩ

“අධික ඉල්ලීම් අත්හැරියොත් පමණයි සාකච්ඡා සාර්ථක වෙන්නේ” – ඉරානයෙන් එක්සත් ජනපදයට දැඩි පණිවිඩ

මේ අතර, පාකිස්තාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂක් ඩාර් ප්‍රකාශ කළේ සටන්විරාමය අඛණ්ඩව පවත්වාගැනීමට දෙපාර්ශ්වයම කැපවිය යුතු බවයි.

කලාපීය සාමය උදෙසා අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යාම වැදගත් බවත්, ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට පාකිස්තානය සැමවිටම සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.