ඉන්දීය ධීවරයින් 54 මෙරට මුහුදු සීමාවෙදී නාවික හමුදා භාරයට...

Police
By Thaya Mar 26, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ධීවරයින් සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින් කටයුතු කළ යුතු යැයි අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාත්‍රා 5 ක් සමග ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව අවධාරණය කළා.ධීවර ගැටළුවට අදාළ සියළු කරුණු පුළුල්ව ආමන්ත්‍රණය කිරීම සදහා ද්විපාර්ශවික යාන්ත්‍රයක් ස්ථාපිත කර ඇති බවත් එම ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් මට්ටමේ සිව් වන රැස්වීම අන්තර්ජාලය ඔස්සේ ඉකුත් දෙසැම්බර් 30 වනදා පැවති බවත් අදාළ නිවේදනයේ දැක්වෙනවා. එම රැස්වීමේ සාකච්ඡාවන් මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගතයුතු බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් 54 දෙනෙකු සහ යාත්‍රා 5 ක් නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත්තේ ස්ථාන 3 කදීයි. උතුරු නාවික විධානය මගින් යාපනය, කෝවිලන් ප්‍රදේශයට නාවික සැතපුම් 03ක් පමණ ආසන්නයෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකු සහ විශාල ප්‍රමාණයේ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එම යාත්‍රාවේ තිබී නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 1030ක පමණ ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව සදහන් කළා.උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම, පේසාලේ ප්‍රදේශයට නාවික සැතපුම් 07ක් පමණ සහ ඉරණතිවු දූපතට නාවික සැතපුම් 05 ක් පමණ ආසන්නයෙන් වූ මුහුදු ප්‍රදේශවලදී යාත්‍රා දෙකක් සමග ඉන්දීය ජාතිකයින් 20 දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. මුලතිව් ප්‍රදේශයට මුහුදු සැතපුම් 8 ක් පමණ ආසන්නයෙන් වන මුහුදු ප්‍රදේශයේදී තවත් ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දීය ජාතිකයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කළේ.