විදෙස්ගත ලාංකිකයින් 455 දෙනෙකු දිවයිනට

Sri Lanka Airplanes
By Thaya Feb 15, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,118 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ක්‍රියාත්මක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . අද දින මෙම කාලසීමාව තුළ ගුවන් යානා 10 කින් , ගුවන් මගීන් 455 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . එසේ පැමිණ සිටි ගුවන් මගීන් පිරිස අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 98 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 70 දෙනෙකු ද සිටියහ . මෙම ගුවන් මගීන් නීරෝධායන ක්‍රියාවලිය සදහා , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 663 දෙනෙකු , ගුවන් යානා 11 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි . එසේ පිටත්ව ගිය පිරිස අතර ඉන්දියාවේ චෙන්නායි වෙත 179 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 157 දෙනෙකු ද සිටියහ . එමෙන්ම අද දින මෙම කාළසීමාව තුළ ආනයන වශයෙන් කිලෝ ග්‍රෑම් 174,532 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , අපනයන වශයෙන් කිලෝ ග්‍රැම් 269,874 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා ගුවන් යානා මගින් රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .