දරුවාට වස පොවා 28 හැවිරිදි මවත් වස බී මරුට.

Police
By Thaya Apr 05, 2021 07:31 PM GMT
Thaya

Thaya

Report

සැමියාගේ බේබදුකම ඉවසාගත නොහැකි වූ දිඹුලාගල පිහිටිවැව පදිංචි දෙදරු මවක් තම වැඩිමල් දරුවාටද වසපොවා ඇයද වස පානය කිරීමෙන් නිදියහනේම ජීවිතක්ෂයට පත්ව ඇත. පසුගිය 3 වැනිදා අලුයම මෙසේ මියගොස් ඇත්තේ නුවරගල, පිහිටිවැව අංක 109 හි පදිංචිව සිටි සත්‍යවේල් නාලිනී (අවුරුදු 28) සහ වයි. කේ. ශෂ්මික (අවුරුදු 06) යන අය වෙති. මියගිය දරුවා කාන්තාවගේ පළමු විවාහයේ දරුවකු වන අතර දෙවැනි විවාහයෙන්ද ඇයට අවුරුදු 03 ක පිරිමි දරුවකු සිටියි. පොලොන්නරුව මහෙස්ත්‍රාත් දේවිකා සී. ජයවර්ධන මෙනවිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය කළ අතර එහිදී සාක්ෂි දුන් මියගිය කාන්තාවගේ සැමියා වන ජේ. කේ. ගුණතිලක (අවු. 40) මෙසේ කීය. මේකට මුල මගේ බේබදුකම -සැමියා කියයි

“මියගොස් සිටින්නේ මගේ බිරිඳ සහ ඇයගේ පළමු විවාහයේ පුතා. ඇය පළමු විවාහයෙන් වෙන්වෙලා මීට අවුරුදු හතරකට කලින් මා සමග විවාහ වුණා. ඒ විවාහයෙන් අපට අවුරුදු තුනක පුතෙක් ඉන්නවා. මේ සිද්ධිය වූ දවසේ මම මළ ගෙදරක ගිහිං පාන්දර ඇවිත් නිදා ගත්තා. උදේ පොඩි පුතා ඇවිත් කතා කරලා කිව්වා අම්මා නැගිටින්නේ නැහැ කියලා. මම නැගිටලා ගිහින් බලනකොට ලොකු පුතා සහ බිරිඳ දෙන්නම සීතල වෙලා දරදඬුවෙලා හිටියා. ඒ දෙන්නම මිය ගිහින් බව මම දැන ගත්තා. වස වර්ගයක් පානය කරලා මේ විපත සිදුකරගෙන ඇති බව පස්සේ දැනගත්තා. මම අධික ලෙස මත්පැන්වලට හුරුවී සිටිනවා. මම මත්පැන් බොන නිසා බිරිඳ නිතර නිතර රණ්ඩු වුණා. එයා මා මත්පැන් පානයෙන් ගලවා ගන්න උත්සහ කළත් මට එයින් මිදෙන්න බැරිවුණා. මම මළ ගෙදර යන්න සූදානම් වෙනකොට බිරිඳ යන්න එපා කිව්වා. නමුත් මම ගියා. මගේ බීමත්කම නිසා සිත්තැවුලෙන් මේ විපත සිදුකර ගන්න ඇති කියා හිතනවා.’’ මියගිය අයගේ කුඩා දරුවා පොලොන්නරුව අධිකරණ වෛද්‍යවරයාට යොමු කොට වාර්තාවක් ලබා ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.