තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට...

Injections
By Thaya Mar 07, 2021 08:54 PM GMT
Thaya

Thaya

Report

කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇස්ට්‍රා සෙනිකා එන්නත් ප්‍රමාණයෙන් තවත් කොටසක් අද (07) අලුයම කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන එන ලදී. කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනය මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමීත 20% ක එන්නත් ප්‍රමාණයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් මේ අනුව අද අලුයම එමිරේට්ස් EK 2528 දරණ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි. යුනිසෙෆ් ආයතනය මගින් මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති අතර ඉදිරියේ දී තවත් එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩ පිළිවෙල සඳහා ලබා දීමට නියමිත බව යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය අවධාරණය කළාය.

මෙම එන්නත් කොවිඩ් පැතිර යන අවදානම් ප්‍රදේශවල වෙසෙන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවැක්ස් පහසුකම් වැඩපිළිවෙල සමඟ ඇති කරගත් ගිවිසුම අනුව තවත් මාත්‍රා මිලියන 1.44 ක් යුනිසෙෆ් ආයතනය විසින් මේ වසරේ මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ලබාදීමට ද එකඟතාවය පල කර ඇත. මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීම අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශ ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණී.

මෙහිදි යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය, ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හා යුරෝපා සංගමයේ තානාපති ‌ඩෙනිස් චයිබි මහතා ඇතුළු නියෝජිතවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එන්නත් තොගය සංකේතාත්මකව භාර දෙන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා පෙන්සේ මහත්මිය , යුනිසෙෆ් ආයතනයේ නියෝජනය කරමින් වෛද්‍ය සෆීනා ආර්බුල්ඩෝවා මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.