කොරෝනා ආසාදිත 20 හැවිරිදි තරුණියක් මරුට.

Covid-19 Colombo Corona Vaccine
By Thaya Feb 19, 2021 08:37 PM GMT
Thaya

Thaya

Report

මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 8ක් තහවුරු කිරීමත් සමගය. ඒ අනුව, කොවිඩ් දෙවන රැල්ල ආරම්භයත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 417ක් වේ. දෙමටගොඩ, බොරැල්ල, මීගොඩ, රීදිමාලියද්ද, දෙකටන, මරදාන, කෙසෙල්වත්ත සහ වත්තල යන ප්‍රදේශවලින් ඊයේ දිනයේ කොවිඩ් මරණ වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අතර තිදෙනෙකු කාන්තාවන් වන අතර සෙසු අය පිරිමි පුද්ගලයින් බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම පුද්ගලයින් අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර සෙසු පුද්ගලයින් වයස අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව වාර්තා වේ. කොවිඩ් තත්ත්වයත් සමග ඇති වූ උග්‍ර දියවැඩියාව, අධි රුධිර පීඩනය, ඇදුම රෝගී තත්ත්වය සහ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.