පිරිමි ඩෙංගු මදුරුවන් 100000ක් පරිසරයට මුදා හරියි

Dengue
By Thaya Mar 29, 2021 07:15 PM GMT
Thaya

Thaya

Report

මෙරට පළමු වරට ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමේ නියමු ව්‍යාපෘතියක්, ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ දී අද (29) පෙරවරුවේ සිදු කෙරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් දිවයිනෙහි ප්‍රථම වරට මෙම කාර්යය සිදු කළ අතර ඊයේ දිනයේදී ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් ලක්ෂයක් පරිසරයට මුදා හැරීම සිදු කරනු ලැබීය.

මදුරුවන් මුදා හැරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් කැලණිය විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය ජානකී හේවාවසන්ති මහත්මිය සඳහන් කර සිටියේ, වසර කිහිපයක් සිදු කරන ලද ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් එළිදැක්වීම මෙලෙස සිදු කෙරෙන බවත් මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව සිදුවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

මෙම අවස්ථාවට එක්ව සිටි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙසේ අදහස් දැක්වීය. “ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීමෙන් ගැහැණු සතුන් සමග එක්වීම තුළින් බෝවීමක් සිදු නොවීම මත මදුරු ගහණය පාලනයක් සිදු වෙනව. මෙය ලෝකයේ රටවල් කිහිපයක් භාවිත කරන දියුණු ක්‍රමයක්. මෙහි නියමු ව්‍යාපෘතියක් ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් ආරම්භ කිරීම තුළින් මෙරටින් ඩෙංගු තුරන් කිරීමට හැකි සුභදායක තත්ත්වයක් බව කිව හැකියි. "

ව්‍යාපෘතිය පිළිබඳව වෛද්‍ය පීඨයේ මහාචාර්ය මේනකා හපුගොඩ මහත්මියගේ අදහස් දැක්වීම. " ගම්පහ, කිඩගම්මුල්ල ප්‍රදේශයෙන් රැගෙන ගිය මදුරු බිත්තරවලින් මදුරු ගහණයක් වෛද්‍ය පීඨයේ ඇති කළා. ඉන් පසුව පිලව් ව්‍යන්ධාකරණය කරනු ලැබුවා.එම පිලවුන්ගෙන් බිහිවු මදුරුවන් මෙලෙස පරිසරයට මුදා හැරීම සිදු කරනු ලැබුවා. අද සිට මාස තුනක් හෙක්ටර් යාර් තිහක ප්‍රදේශයකට සතියකට වරක් පිරිමි මදුරුවන් ලක්ෂයක් බැගින් මුදා හැරීමට පියවර ගනු ලබනවා. ඉන් පසුව මෙම ප්‍රදේශයේ ඩෙංගු මදුරු ගහන ඝනත්වය අඩුවීමක් සිදුවේද යන්න සොයා බැලීමක් සිදු කෙරෙනව. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අනාගතයේ දී සෙසු ප්‍රදේශවලටද ව්‍යන්ධාකරණය කරන ලද පිරිමි ඩෙංගු මදුරුවන් පරිසරයට මුදා හැරීම සිදු කරනු ලබනව.

මේ සඳහා මෙම ප්‍රදේශය තෝරා ගැනීම සිදු කළේ විශේෂ භූගෝලීය වශයෙන් හදුනා ගැනීමක් මතයි.අනෙක මෙම ප්‍රදේශයේ ඩෙංගු මදුරු ඝනත්වය වැඩි ප්‍රදේශයක් වශයෙන් හදුනා ගනු ලැබූවා."


GalleryGallery