නැගෙනහිර පර්යන්තය පැවරීමට එරෙහිව ආණ්ඩුවේ පක්ෂ 10ක් එක්වේ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ.
ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් අද (30) පස්වරුවේ හමුවී කළ සාකච්ඡාවකදීය.
කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු ද ඊට සහභාගී වුණි.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත අර්බුදය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීම අදත් ක්‍රියාත්මකය.
වෘත්තිය ක්‍රියාමාර්ගය අතරතුර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ වියත්මඟ සංවිධානයට ලබාදුන් යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
නැගෙනහිර පර්යන්ත යෝජනාව සම්බන්ධයෙන් මෙරට තුළ දැඩි විවේචනයට ලක්ව සිටින අදානි සමාගම සහ එහි හිමිකරු ඉන්දියානු සුපිරි ධන කුවේරයෙකු වන ගෞතම් අදානිට එරට ජනතාවගෙන් ද පසුගිය කාලය පුරා දැඩි විරෝධතා එල්ල වුණි.
ඒ එරට පාර්ලිමේන්තුව ගොවි ජනතාවට අවාසි වන පරිදි කෘෂිකර්ම පනත් තුනක් සම්මත කිරීමත්, එම පනත් වාසිදායක ලෙස යොදාගනිමින් ගෞතම් අදානි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අත පෙවීමට සූදානම් වන බවත් පවසමිනි.
එම චෝදනාව එල්ල වන අනෙක් පුද්ගලයා වන්නේ ඉන්දිය සුපිරි ධන කුවේර මුකේෂ් අම්බානි ය.
මෙම ධනකුවේරයින් සිය ආධිපත්‍ය තම කර්මාන්තය පුරා ව්‍යාප්ත කිරීම තුළින් සිය ජීවනෝපායට දැඩි පහරක් එල්ල වන බව ගොවි ජනතාව පවසති.
මෙතෙක් කල් තමන්ට රජයෙන් ලැබුණු රැකවරණය මෙම නව පනත් නිසා අහිමි වී අදානි ඇතුළු ධනවතුන්ගේ සමාගම්වලට අසීමිත ලාභයක් හිමිවනු ඇති බව ගොවීන් පවසයි.
මාස ගණනාවක් පුරා ඇදීයන ඉන්දීය ගොවි අරගලයේ නව පිටුවක් පෙරළමින් ට‍්‍රැක්ටර් රථ මත නැගි දස දහස් සංඛ්‍යාත ගොවීන් පසුගිය දා නවදිල්ලි අගනුවර ඓතිහාසික රතු බලකොටුවට ද බලහත්කාරයෙන් ඇතුළු වුණි.
පොලිසිය විරෝධතා විසුරුවාහරින්නට පියවර ගනිද්දී විවිධ මැර කණ්ඩායම් ද ගොවින් මර්දනයට පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කළේය.
නමුත් දිවි පරදුවට තබා සිය අරගලය අඛණ්ඩව ගෙනයන බව පවසමින් ගොවි ප්‍රජාව නවදිල්ලි නුවර විරෝධතාවේ නිරත වුණි.
ඊයේ පැමිණි කිසියම් පිරිසක් විරෝධතාකරුවන් බිය ගැන්වීමට උත්සාහ කර ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණි.
ගොවි ජනතාව චෝදනා කරන්නේ ධනවතුන්ගේ එම මැදිහත්වීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ක්‍රියාකලාපය රුකුල් දෙමින් ඇති බවය