“හුස්ම දෙන තුරු” රුක්රෝපණ වැඩ සටහනින් පසුගිය මාස 04ට පැළ 10,7000ක් රට පුරා...

Saplings
By Thaya Apr 06, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

“හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩ සටහන මේ වනවිට අතිශයින් ජනප්‍රිය ව ඇති බවත්, බොහෝ පාර්ශ්ව විසින් මෙම රුක් රෝපණ වැඩ පිළිවෙළ අගයමින් එම වැඩ පිළිවෙළ අනුගමනය කර වැඩ සටහන් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (05) අගුණකොළපැළැස්ස ප්‍රදේශයේ පැවැති රුක්රෝපණ වැඩ සටහනකට සහභාගි වෙමිනි. අමාත්‍යවරයා එම ප්‍ර දේශයේ ජනතාවට පැළ බෙදාදීමක් සිදු කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ කීය,මම පරිසර අමාත්‍යවරයා වශයෙන් වැඩ කටයුතු ආරම්භ කළාට පසුව හරිත හෙටක් නමින් විසි වැදෑරුම් පාරිසරික වැඩ පිළීවෙළක් හඳුන්වා දුන්නා. එහි ප්‍රධාන රුක්රෝපණ වැඩ පිළීවෙළ තමයි “හුස්ම දෙන තුරු” ජාතික රුක්රෝපණ වැඩ සටහන. මේ යටතේ ඉදිරි වසර හතර තුළ පැළ මිලියන දෙකක් අපි රෝපණය කරන්නට ඉළක්ක කර තිබෙනවා.

ගත වූ මාස හතරක කාලය තුළ අපි පැළ 10,7000ක් රෝපණය කර තිබෙනවා. මේ සඳහා රජයේ මුදල් රුපියලක්වත් වැය කළේ නැහැ. සියලුම මුදල් අපිට ලබා දුන්නේ මේ රටේ පුද්ගලික අංශය විසින්. අපි මෙම වැඩසටහන පටන් ගන්න කොට කිසිම කෙනෙකුගෙන් සහයෝගයක් ලැබුනේ නැහැ. සමහරු මඟ හැරියා. නමුත් “හුස්ම දෙන තුරු” යන හිතට වදින නමත් එක්ක අපි මේ කටයුතු ආරම්භ කළාට පසුව විශාල පිරිසක් අපිට සහයෝගය පළ කළා. ඒ නිසා ඉදිරි වසර හතර තුළත් අපි රජයේ මුදල් වැය කිරීමකින් තොරව මෙම කටයුතු සිදු කරනවා. අපේ “හුස්ම දෙන තුරු” දැන් බොහෝ දෙනෙක් අනුගමනය කරනවා. ඒ අයත් “හුස්ම” කියන නම ඈදාගෙන වැඩ සටහන් ආරම්භ කර තිබෙනවා. ගසක් කියන්නේ අපුරු ජීවියෙක්. අපි මිනිස්සු වශයෙන් මහපොළවට දමන කැළීකසල පොහොර කර ගෙන මිහි මව අපිට ගස් ලබා දෙනවා. ඒවායේ මිහිරි පලතුරු විතරක් නොවෙයි අපිට ආශ්වාස කරන්නට අවශ්‍ය පිරිසිදු ඔක්සිජන් වාතය ගස් විසින් අපිට ලබා දෙනවා. ඒ නිසා තමයි අපි මේ වැඩ සටහන “හුස්ම දෙන තුරු” යනුවෙන් නම් කළේ.

මිනිසෙකුට ජීවත්වන්නට දවසකට ඔක්සිජන් ලීටර් 550ක් අවශ්‍ය වෙනවා. බර වශයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 2.5ක් විතර. එක් අයෙකුට මේ හුස්ම දෙන්න අඩු තරමින් ගස් 10ක්වත් නිෂ්පාදනය කරන ඔක්සිජන් අවශ්‍යයි. දිනකට ගස් 10ක් නිපදවන ඔක්සිජන්වලින් ජීවත් වන සමහර මිනිස්සු අඩුම තරමින් තමන්ගේ ජීවිත කාලයටම එක් ගහක්වත් රෝපණය කරන්නේ නැහැ. අපේ අතීත මුතුන් මිත්තන් මෙම කාරණය දැනගෙන සිටි නිසා තමයි වෘක්ෂ වන්දනාව කළේ. වෘක්ෂ දේවතාවෝ කියළයි මිනිස්සු කිව්වේ. ගස් නැතිදාට මිනිසා ඇතුළු සත්ව සන්තතියේ පැවැත්මත් අවසානයි කියන එක මිනිස්සු තේරුම් ගන්නේ නැහැ. හුස්ම දෙන තුරු කපා දමමින් මිනිස්සු සල්ලි පස්සේ දුවනවා. “රතු ඉන්දියානු නායක වන සියැටල් කියා තිබෙනවා මිනිසා අවසාන ගසත් කපා දමා, අවසාන මාලුවාත් ආහාරයට ගෙන අවසන් ජල බිඳුවත් පානය කළාට පසුව සල්ලි ආහාරයට ගත නොහැකි බව මිනිස්සු තේරුම් ගන්නවා ඇත” කියළා.


කවුරු හරි වනවිනාශය සිදු කරනවා නම් ඔහු මිනීමරුවෙක් හා සමානයි. ඒ නිසා අපි නව ජාතික පාරිසරික පනත යටතේ පරිසරය වනසන්නට දෙන දඩුවම් දෙගුන කරනවා. ඒ වගේම දඩමුදල දැන් තිබෙන ප්‍රමාණවලට වඩා දහගුණයකින් ඉහළ දමනවා. ඒ වගේම පරිසර සුරකින පිරිස් ඇගයීමට ලක් කරනවා. ඔවුන්ට ජාතියේ ප්‍රණාමය ලබා දීමට සම්මාන ප්‍රදානෝත්සවයක් පවත්වනවා.යැයි ද කීය.