අභියාචනා සිරකරුවන්ගේ නඩු ඇසීමට අභියාචනා අධිකරණ 04 ක් කඩිනමින්

Ali Sabry
By Thaya Jan 19, 2021 04:58 PM GMT
Thaya

Thaya

Report

අභියාචනා සිරකරුවන්ගේ නඩු ඇසීමට අභියාචනා අධිකරණ 04 ක් ඉතා කඩිනමින් ස්ථාපිත කෙරේ

අධිකරණ අමාත්‍ය ගරු අලී සබ්රි මැතිතුමන් හා බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ මැතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

එහිදි සාකච්ඡා කළ කරුණු සහ ගන්නා ලද තීරණ :

• බන්ධනාගාර ගත කරන ලද සිර දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති අභියාචන තීරණය ලැබෙන තෙක් බන්ධනාගාරය තුළ රඳවා ගෙන ඇති අභියාචන සිරකරුවන්ගේ සිර ග්‍රහණය අධික වී ඇති බැවින් එම තත්ත්වය මඟ හරවා ගැනීමට හැකි වන පරිදි අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නව අභියාචනා අධිකරණ 04 ක් ඉතා කඩිනමින් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.

• 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීම.

• 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩන සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය දණ්ඩනය ලිහිල් කර ජිවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කිරීම.

• සිරකරුවන්ගේ තදබදය අවම කිරීම සඳහා සුළු මත්ද්‍රව්‍ය හා අනෙකුත් වැරදි සඳහා බන්ධනාගාර ගත වන පුද්ගලයින් බන්ධනාගාර ගත කිරීම වෙනුවට ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව යටතේ පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීම.

• මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර කඩිනමින් ක්‍රියාවට නැංවීමට හැකි කරුණු ක්‍රියාත්මක කිරීම.

• බන්ධනාගාර තදබදය අවම කිරීම හා සිරකරුවන් විධිමත් පුනරුත්ථාපන ක්‍රමවේදයකට යොමු කිරීමට පවතින බන්ධනාගාර පද්ධතිය යාවත්කාලීන විය යුතු බැවින් කොළඹ බන්ධනාගාර පරිශ්‍රය විතැන් කර හොරණ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත බන්ධනාගාර පද්ධතිය ඉදිකිරීම් කඩිනම් කිරීම හා එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදන කිරීම.