විදේශීය සංචාරකයින්ට ටුක්ටුක් පදින්න අවසර
ත්‍රිරෝද රථ කුලියට දෙන සමාගමක් වන tuktukrental.com විසින් ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර දරන විදේශීය සංචාරකයින්ට එරෙහිව පොලිසිය පියවර ගැනීම වළක්වමින් ලබාගත් අතුරු නියෝගය පිළිබඳව සඳහන් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම බරපතල ප්‍රශ්නයක් බව සමාගමේ නියෝජිතයෙකු පවසා තිබෙනවා.
ඔහු සඳහන් කළේ, අධිකරණයේ නියෝගය නොතකා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත්, එය නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරිය, අධිකරණ තීන්දුවලට ගරු කිරීම සහ වලංගු ලියකියවිලි සමඟ ගමන් කරන සංචාරකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරන බවයි.
සමාගම විසින් නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙම තත්ත්වය සංචාරක ස්වාධීනත්වයට තර්ජනයක් වන අතර, සංචාරක ආදායම මත යැපෙන දේශීය ප්‍රජාවන්ට සැලකිය යුතු ආර්ථික බලපෑම් ඇති කරන බවයි.
නීත්‍යානුකූල සහ ආරක්ෂිත ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය නැවත ඇති කිරීමට ජාත්‍යන්තර දැනුවත්භාවය ඉතා වැදගත් බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.
අභියාචනාධිකරණයේ C.A. (ලිට්) 1154/25 නඩුවේදී 2026 පෙබරවාරි 19 වැනිදා විනිසුරු ධම්මික ගනේපොල සහ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහත්වරුන්ගෙන් යුත් මඩුල්ල විසින් මෙම අතුරු නියෝග ලබා දී ඇති අතර, එමගින් 1949 ජිනීවා මාර්ග රථවාහන සම්මුතියට අනුව වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් සහ දේශීය ආවරණ බලපත්‍රයක් ඇති විදේශීය සංචාරකයින්ට ත්‍රිරෝද රථ නීත්‍යානුකූලව පැදවිය හැකි බව තහවුරු වී තිබෙනවා.
දශක ගණනාවක් තිස්සේ මෙම නීතිමය රාමුව යටතේ සංචාරකයින් ත්‍රිරෝද රථ පැදවා ඇති අතර, එය දේශීය පවුල් සිය ගණනක ජීවනෝපායට සම්බන්ධ බවත්, අධිකරණයේ අවසාන තීරණය ලැබෙන තෙක් පවතින තත්ත්වය ආරක්ෂා කිරීම මගින් ව්‍යාපාර හා සංචාරකයින්ට සාධාරණත්වය ලැබෙන බවත් සමාගම පෙන්වා දෙයි.