යළිත් උත්සව සියල්ල නතරන්නැයි ජනපතිට දන්වයි..රට වහන්නත් වෙයි?..

Sri Lanka Healthy Gotabaya Rajapakshe Covid risk
By Aruna Nov 12, 2021 06:43 AM GMT
Aruna

Aruna

Report

රට තුළ සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් තවත් කොවිඩ් රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා වු නිර්දේශ ඇතුළත් ලිපියක් එම සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමා කිරීම් දැඩි ලෙස බලාත්මක කළ යුතු බව එම නිර්දේශ අතර වේ.

එහිදී සෞඛ්‍ය රෙගුලාසි සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වන බවට සමීපව නිරීක්ෂණය කිරීම සහ සහතික කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ.

එමෙන්ම ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් එන්නතක් ලබාදීමේ වැදගත්කම ද එම සංගමය නිකුත් කළ නිර්දේශ අතර වේ.

වැඩිහිටියන් ට කොවිඩ් -19 ආසාදනය වීමේ අවදානම වත්මන් තත්ත්වය තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

එබැවින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත අවුරුදු 60ට අඩු රෝගීන් සහ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් හට ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව නැත්නම් බූස්ටර් මාත්‍රාව ප්‍රමාදයකින් තොරව ලබාදිය යුතු බව ද වෛද්‍ය සංගමය නිකුත් කළ නිර්දේශ අතර වේ.

සංවෘත ස්ථානවල පැවැත්වෙන විවාහ උත්සව, ආගමික උත්සව, අවමංලග්‍ය උත්සව, සංගීත සංදර්ශන, සමාජ ශාලාවල රැස්වීම් ආදියේ සංඛ්‍යාව සීමා කරමින් පොදු උත්සව සඳහා අදාළ රෙගුලාසි සම්පූර්ණයෙන් ම ලිහිල්කිරීම තවත් කාලයක් ප්‍රමාද කරන ලෙස රජයේ වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මීළඟ ආසාදන රැල්ල වැළැක්වීමට නම්, ආසාදනවල වැඩිවීමක් කලින් හඳුනා ගැනීම අතිශයින් ම වැදගත් බවත්, සුපරීක්ෂාකාරීව කොවිඩ් ආසාදනය වී ඇති මට්ටම නිරීක්ෂණය කිරීම රජයට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව උදා කරනු ලබන බවත් එම ලිපිය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර තිබේ.

මේ අතර මෙතෙක් අවසර ලබා දී ඇති රැස්වීම් හැර අනෙකුත් මහජන ඒකරාශී වීම් සහ ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 715 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 548, 061 දක්වා ඉහළ ගියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha