ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයාගේ බ්‍රසීල බිරිඳ ගහපු ගේම මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka Brazil
By Aruna Feb 16, 2023 01:31 AM GMT
Aruna

Aruna

Report

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර ඔහු මරා දමන බවට බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව ඔහුට අවස්ථා කිහිපයක දී ම තර්ජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

ඔනේෂ් සුබසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව අතර නිවෙසේ දී දේපළ සම්බන්ධයෙන් නිතර නිතර අඩදබර හටගෙන ඇති බවත්, “මම උඹව මරනවා” යැයි ඇය කිහිප අවස්ථාවකදීම ඔනේෂ් මහතාට මරණ තර්ජනය කර ඇති බවට හෙළි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

නිවෙසේ සේවය කරන සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිකරගෙන ඇති අතර සැකකාරියගේ මිතුරිය බව කියන සෙසු සැකකාරිය මීට මාස 4 ට පමණ පෙර මෙම නිවෙසට පැමිණ ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බිරිඳ, දියණිය සහ බිරිඳගේ මිතුරිය සමග සංචාරයක් සඳහා ඉකුත් 19 වැනිදා ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සුබසිංහ මහතාගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ දියණිය ද කැටුව බ්‍රසීල ජාතික මිතුරිය ද සමග එරටට පලා ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ සිද්ධියෙන් පසු පලාගොස් සිටින බිරිය හා ඇගේ යෙහෙළිය සොයා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට සහ බ්‍රසීලයට යාමට නියමිතව ඇත.

සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිඳගේ මිතුරිය මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඝාතනය කෙරුණු සුබසිංහ මහතා ද මෙරට ව්‍යාපාර තිස් දෙකක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now