ඇමති කුමාර ජයකොඩිට අල්ලස් නඩු
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පැවරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව, 2015 වසරේදී ලංකා පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී සිදුවූ බව කියන මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී ඇත. විශේෂයෙන්ම, ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් ලබා දුන් බවට චෝදනා ඇති අතර, මෙය අල්ලස් පනතේ 70(ආ) වගන්තිය යටතේ දූෂණය ලෙස වර්ගීකරණය කර ඇත.
කොමිෂන් සභාව විසින් නිලධාරීන්ට අධිචෝදනා පත්‍ර සකස් කිරීමට උපදෙස් දී ඇති අතර, මෙම නඩුව කොළඹ මහාධිකරණයේදී පවරනු ඇතැයි සඳහන් වේ. චෝදනාවට අදාළ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 8ක් පමණ වන බවත්, ජයකොඩි මහතා එකල ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බවත් වාර්තා වේ.
මෙම තීරණයට පෙර ඇමතිවරයාගේ නීතිඥයා විසින් කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීම සඳහා ඉල්ලීමක් කර තිබූ අතර, එය සලකා බැලූ පසුව කොමිෂන් සභාව මෙලෙස පියවර ගෙන ඇත.