පොලිස් ස්ථානයෙන්ම ජාවාරම්කාරිය පලායයි- නිලධාරීන් 3ක වැඩ තහනම්
රැඳවුම් නියෝග මත ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානයේ රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් අත්අඩංගුවෙන් පලා ගිය සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ සහ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ, රාත්‍රී කාර්යභාරයේ යෙදී සිටි උපසේවක ලෙස කටයුතු කළ සැරයන්වරු දෙදෙනා සහ සැකකාරියගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි කොස්තාපල්වරිය මෙලෙස වැඩ තහනමට ලක් කර ඇති බවයි.
මෙම සැකකාරිය මීට පෙර මොරටුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමක් විසින් රත්මලාන මැලිබන් හන්දිය අත්තිඩිය ප්‍රධාන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී ඇය සතුව හෙරොයින් මිලිග්‍රෑම් 36,650ක් සොයා ගෙන තිබේ.
පසුගිය 16 වැනිදා රැඳවුම් නියෝග මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකාරිය ශාරීරික අවශ්‍යතාවයක් ඇති බව පවසා කොස්තාපල්වරියක් සමඟ වැසිකිලියකට ගොස් ඇත.
එහිදී ඇය අත්අඩංගුවෙන් මිදී මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක නැගී පලා ගොස් තිබේ.
කෙසේ වෙතත්, පලා ගිය සැකකාරිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පැය 8කට පසු එදිනම තලවතුගොඩ කිඹුලාඇල ප්‍රදේශයේදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කළේය.