සජබේ දෙදරයි..අභ්‍යන්තර ගැටලු රැසක් එළියට'
කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයින්ගේ මතය වී තිබේ. පක්ෂ තීරණවලට අනුව කටයුතු කිරීමට පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ වගකීම බවද ඔවුන් පෙන්වාදෙයි.
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගියදා එම ධුරවලින් ඉල්ලා අස්විය. පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදී මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරුන් සිය සංවිධායක තනතුරින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ.
සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයින් පත් කරගැනීමේ ගැටලුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරුන් සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය ඔඩුදුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරුන් රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කළකිරීමට පත්වී ඇතැයිද වාර්තා වෙයි.
