බගවන්තලාවේ වාහන අනතුරකින් දුර්ලභ සතෙකු මරුට
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සත්ව විශේෂයකට අයත් ක්ෂීරපායි සතෙකු වන මුදු වලිග සහිත සිවට් සතෙකුගේ මළ සිරුර ඊයේ බගවන්තලාව සිරිපුර ප්‍රදේශයෙන් වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.
වනාන්තර ප්‍රදේශය ආසන්න මාර්ගයකින් ගමන් කරමින් සිටියදී වේගයෙන් ධාවනය වූ වාහනයක ගැටීමෙන් මෙම සත්වයා මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළහා. මළ සිරුර මාර්ග මත වැතිරී තිබූ අතර, පසුව එය පාර අයිනට ඉවත් කර තැබීමට පියවර ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.
ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළේ, ආහාර සහ ජලය සොයා රාත්‍රී කාලයේදී මෙවැනි සතුන් මාර්ග හරහා ගමන් කරන අතර, එවැනි අවස්ථාවල වාහනවල අධික වේගය හේතුවෙන් නිතරම අනතුරු සිදුවන බවයි.
මුදු වලිග සහිත සිවට් සතා ශ්‍රී ලංකාවේ දුර්ලභ සහ වඳවී යාමේ අවදානමට ලක්ව ඇති සත්ව විශේෂයක් වන අතර, මෙවැනි මරණ සිදුවීම් සත්ව සංරක්ෂණයට දැඩි බලපෑමක් සිදුකරන බව පරිසරවේදීහු පෙන්වා දෙති.