මත්තල අධිවේගි පිවිසුම අසල දී ගැටුමක් ඇති කළ පිරිසට වැඩ වරදී

Report

මත්තල අධිවේගි පිවිසුම ආසන්නයේදී ආසන පටි නොමැතිව අධිවේගී මාර්ගයට බස් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීම සහ පොලිස් රාජකරියට බාධා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ සැකකරුවන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

තවද මෙම මත්තල අධිවේගී පිවිසුම අසල දී බස් රථයකින් පැමිණි පිරිසක් ආසන පටි සිද්ධියක් මුල්කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක අයුරින් බැනවදිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා වන අයුරින් හැසිරීමේ විඩීයෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය.

එම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු පෑලියගොඩ රථවාහන කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි ඉන්පසුව කටාන පොලීසිය මාර්ගයෙන් හම්බන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇත .

මේ අනුව ඔවුන් හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එදින ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

තවද අදාළ සිද්ධිය වු දින නොසන්සුන්කාරීව හැසිරුණු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා එම ස්ථානයේ රාජකාරියේ නිරත වු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

පොලීසිය සදහන් කළේ මත්තල අධිවේගී පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, පොලිස් සැරයන්වරුයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස ස්ථාන මාරුකර ඇති බවයි.

රථවාහන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත අදාළ නිලධාරීන් ස්ථාන මාරුකර ඇති බව වාර්තා වේ