තව අවුරුදු දෙකක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයට වෙන්නේ මේකයි - කැබිනට් අනුමැතිය හිමි වෙයි
කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් වසර දෙකක් ඇතුළත පූර්ණ ඩිජිටල්කරණය කිරීමට රුපියල් මිලියන 476ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට මෙසේ අනුමැතිය හිමි වූ බව අද (05) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේනේතුවේ පැවැති මාධ්‍ය හමුවේදී දැනුම් දෙන ලදි.
කැලණිය විශ්ව විද්‍යාලය තුළ දැනටමත් මූලික තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පැවතුනද වේගයෙන් වෙනස් වන ගෝලීය අවශ්‍යතාවන්ට අනුව උසස් අධ්‍යාපන ක්ෂේත්රය නවීකරණය කිරීමට එම පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබෙනවා.
එබැවින් විශ්ව විද්‍යාලයේ පද්ධති සහ මෙහෙයුම් නවීකරණය කරමින් වඩාත් ගතික හා ඩිජිටල් කේන්ද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා දැනට විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වී සිටින උපාධි අපේක්ෂකයින් 16,368කට, පශ්චාත් උපාධි අපේක්ෂකයින් - 1,114කට, බාහිර උපාධි අපේක්ෂකයින් 56,619කට අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය - 1,700කට පමණ සෘජු ප්රතිලාභ සැලසෙන බව සඳහන්.
2026-2027 වර්ෂයන් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියෙන් විශ්ව විද්‍යාලයේ සේවා සැපයීම වැඩි දියුණු කිරීම, පුළුල් පරාසයක සිසුන් ආකර්ෂණය කර ගැනීම සහ මූල්‍ය තිරසරභාවය සුරක්ෂිත කර ගැනීම වැනි වාසි රැසක් අත්වනු ඇති බව අපේක්ෂා කරන අතර රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ මෙම සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.