ඇමරිකාවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියට දැවැන්ත ප්‍රහාරයක් - සිවිල් වැසියන් 5ක් මරුට
හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු ප්‍රහාරයට ලක්වූ යාත්‍රා සම්බන්ධයෙන් ඉරානය සහ අමෙරිකාව පරස්පර විරෝධී අදහස් පළ කිරීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී තිබේ.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) යාත්‍රා නොව, සිවිල් වැසියන් සහ භාණ්ඩ ප්‍රවාහනය කළ යාත්‍රා දෙකකි.
ඕමානයේ කසාබ් සිට ඉරාන වෙරළ දෙසට ගමන් කරමින් තිබූ මෙම යාත්‍රාවලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය තහවුරු කරයි.
කෙසේ වෙතත්, අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) පවසන්නේ වෙනත් කතාවකි. ඔවුන් පවසන පරිදි, සී හෝක් (Sea Hawk) සහ ඇපාචි (Apache) හෙලිකොප්ටර් යාත්‍රා යොදාගෙන සිදුකළ මෙම මෙහෙයුමේදී, වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන වේගවත් යාත්‍රා හයක් විනාශ කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අමෙරිකානු උපායමාර්ගික මෙහෙයුම්වලට එල්ල වූ තර්ජන හමුවේ මෙම පියවර ගත් බව වොෂින්ටනය අවධාරණය කරයි.