මෙන්න මිනිස්සු, කන්න ආපු වෙලාවේ අමතක වුණු ලක්ෂ 18 ආයෙත් එන්න කියලා අයිතිකාරයටම දීලා
සීගිරිය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයකුට අමතකව දමා ගිය රුපියල් ලක්ෂ 18 කට අධික දේශීය මුදල් හා විදේශීය මුදල් ඇතුළු අත් බෑගය එම විදේශීය සංචාරකයා වෙත නැවත භාරදීමට දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ අවන්හල්හිමියකු කටයුතු කර ඇති බව වාර්තා වුණා.
නමින් ටෙනී මාර්ටින් ස්ටයිම් නම් මෙම ඔස්ට්‍රේලියානු ජාතිකයා තම පවුලේ තවත් සාමාජිකයන් තිදෙනකු හා සීගිරිය නරඹා දහවල් ආහාරය ගැනීමට දඹුල්ල ,පැල්වෙහෙර ප්‍රදේශයේ පිහිටි ආරිය රෙස්ට් අවහන්හල වෙත පැමිණ තිබුණා.
එසේ දහවල් ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව එම අවන්හලෙන් නැවත ඔවුන් 22 රාත්‍රියේ නවාතැන් ගැනීමට නියමිත සීගිරිය ප්‍රදේශයේ හෝටලය වෙත පිටත්ව ගොස් ඇත.
එහිදී නවාතැන්පළට පැමිණි විට තම මුදල් ඇතුළු වටිනා අත් බෑගය තමන් ළඟ නොමැති බව දැනගත් සංචාරකයා ඒ පිළිබඳව කලබල වී ඔවුන්ට මඟ පෙන්වීමට පැමිණි සංචාරක මාර්ගෝපදේශකවරයාට එය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම සංචාරක මාර්ගෝපදේශකවරයා එම විදේශීය සංචාරකයන් පිරිස ආහාර ගනු ලැබූ අවන්හලේ හිමිකරුව දුරකථනයෙන් අමතා එම විදේශිකයා සතුව තිබූ අත් බෑගය නැතිවීම හා එය අවන්හලේ තිබේද යන්න සම්බන්ධයෙන් විමසීමෙන් පසු එම අවන්හලේ හිමිකරු වන කේ.පී.ආරියදාස එය සුරක්ෂිතව තම අවන්හල තුළ තබා ඇති බවත් එය ලබාගැනීමට එහි හිමිකරුව කැඳවාගෙන එන ලෙසත් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සැම ඉදිරියේ එම විදේශිකයාට අයත් අත් බෑගය ඔහුගේ අතින් විවෘත කිරීමට එම අවන්හල් හිමියා විසින් ඉඩ සැලැස්වූ අතර එහිදී තම මුදල් සුරක්ෂිතව ඒ ආකාරයෙන් පවතින බවත් එම මුදල් ගණනය කිරීමට අවශ්‍ය නොවන බවත් අවන්හල් හිමියා පිළිබඳව තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත් විදේශිකයා පවසා ඇත.
එහිදී අත් බෑගය තුළ තිබුණු රුපියල් දාසය ලක්ෂ විසිදහසක් වටිනා දේශීය මුදල් හා රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් ඔස්ට්‍රේලියානු ඩොලර් 515 ක්ද යළි ඒ ආකාරයට භාරදී තිබීම විශේෂත්වයක්.
එමෙන්ම මෙම අවන්හලේ සේවකයන්ගේ අවංකභාවයට කෘත ගුණ දැක්වීමක් වශයෙන් එම සේවකයන් වෙත ඔහු සතු මුදලින් රුපියල් 50,000 ක මුදලක් බෙදාදීමට කළගුණ දත් මෙම විදේශීය සංචාරකයා කටයුතු කර තිබෙන බව ද සඳහන්.