දිට්වා නිසා විදෙස් රටවල් 22කින් ශ්‍රී ලංකාවට ආධාර ඇවිත්
දිට්වා සුළි කුණාටු ආපදායෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශ රටවල් 22කින් මානුෂීය සහනාධාර ලැබී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින්, එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබාදෙන මානුෂීය සහනාධාර මෙරටට ලැබුණු බවත්, මෙම විදේශීය ආධාර තොග නිසි ලෙස කළමනාකරණය කිරීම, සම්බන්ධීකරණය සහ ජනතාව අතර ඵලදායී ලෙස බෙදාහැරීම තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ‘විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව’ (HL-FRAC) පිහිටුවා ඇති බවත්ය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටුව, අවස්ථා කිහිපයකදී රැස්වී, සහන සේවා ක්‍රියාවලිය තුළ පූර්ණ පාරදෘශ්‍යභාවය සහ උපරිම කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක ක්‍රියාමාර්ග ගනු ලැබූ බවත් සඳහන් වේ.
ඒ අනුව, ගුවන්තොටුපල සහ වරාය හරහා මෙරටට ලැබුණු විදේශ ආධාර ඔරුගොඩවත්ත ගබඩා සංකීර්ණයේ ආරක්ෂිතව සහ විධිමත්ව ගබඩා කර, දිවයින පුරා පීඩාවට පත් ජනතාව වෙත කාලෝචිතව සහ විධිමත්ව ලබාදීමේ යාන්ත්‍රණය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) හරහා වඩාත් ශක්තිමත් කර ඇති බවද මෙම නිවේදනයෙන් පෙන්නුම් කරයි.