අවුරුදු හතේ පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන කළැයි අවුරුදු 70ක පුද්ගලයෙක් රිමාන්ඩ්
වයස අවුරුදු හතයි මාස අටක් පමණ වන බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හැත්තෑ හැවිරිදි සැකකරුවෙකු එළඹෙන ජනවාරි මස 08 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්.සමරසිංහ මහත්මිය නියෝග කර තිබෙනවා.
ඒ අනුව කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව, වවුනියාව පාර ප්‍රදේශයේ පදිංචි පද්මපෙරුම ආරච්චිගේ රංජිත් හෙවත් 'රංජිත් සීයා' නමින් හඳුන්වන හැත්තෑ හැවිරිදි විවාහක පුද්ගලයෙක් වේ.
මෙම සැකකරු විසින් සිය බාලවයස්කාර නැගණිය බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව දැනගත් වින්දිත දැරියගේ සොහොයුරා ඇති වූ කෝපය මත සැකකරුට පොල්ලකින් පහර දී තිබෙනවා.
අඳාළ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ සැකකරු මේ වන විට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක සහ සැරයන් (53290) ප්‍රසන්න රංජිත් දිසානායක යන නිලධාරීන් විසින් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව පහරකෑමට ලක්ව රෝහල්ගතව සිටින සැකකරු පරීක්ෂා කර බලා සුදුසු නියෝගයක් ලබා දෙන මෙන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් ඉමේෂා පටබැඳිගේ මහත්මිය විසින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරියට දැනුම් දී තිබූණා.
එබැවින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගොස් සැකකරු නිරීක්ෂණය කිරීමෙන් පසුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම රිමාන්ඩ් නියෝගය නිකුත් කර තිබෙනවා.
මේ අතර අපරාධය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගති වාර්තාවක් මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන මෙන් අතිරේක මහේස්ත්‍රාත්වරිය කැබිතිගොල්ලෑව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වැඩිදුරටත් නියෝග කර ඇත.
කෙසේ වෙතත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ දැරියගේ පියා, ඇයගේ මවගෙන් වෙන්ව නිවසින් පිටව වෙනම ජීවත් වේ. මේ අතර අධිකරණය හමුවේ සැකකරු වෙනුවෙන් නීතිඥ චතුර ධනංජය රණතුංග මහතා පෙනී සිට ඇත.