දිල්ලි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් කියල කාටත් කලින් කිව්වේ සජිත්ලු - මෝදිත් පරක්කුයි
දිල්ලියේ රතු බල කොටුව අසල සිදුවූ මෝටර් රථ පිපිරීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙය ‘ත්‍රස්ත ක්‍රියාවක්’ ලෙස ඉන්දීය රජය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
අපරාධකරුවන් ඉක්මනින් නීතිය හමුවට පමුණුවන බව ද රජය සහතික වෙයි.
“2025 නොවැම්බර් 10 වැනිදා සවස රතු බල කොටුව අසල මෝටර් රථ පිපිරීමක් හරහා ජාතික විරෝධී බලවේග විසින් සිදුකළ දරුණු ත්‍රස්ත සිදුවීමකි. පිපිරීමෙන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, තුවාලකරුවන්ට ද බරපතළ තත්ත්වයන් ඇතිවිය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවට ගොදුරු වූවන්ට කැබිනට් මණ්ඩලය ගෞරව දක්වමින්, මියගිය පවුල්වලට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරයි”
යනුවෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ කැබිනට් මණ්ඩලය ඊයේ (12) සම්මත කළ යෝජනාවේ දැක්වේ.
විමර්ශන කඩිනමින් සිදුකර අපරාධකරුවන්, උදව්කරුවන් හා අනුග්‍රාහකයන් හඳුනාගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ද කැබිනට් මණ්ඩලය නියෝග කර තිබේ.
The terror attack in Islamabad, Pakistan is a further testament for everyone to unite in the fight against terrorism. Our thoughts and prayers are with those who were victims of this act of cowardice.
— Sajith Premadasa (@sajithpremadasa) November 11, 2025
කෙසේ වෙතත්, දිල්ලි පිපිරීම සිදුවීමෙන් මද වේලාවකට පසු - ඊයේ (12) පස්වරු 9.07ට – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස X හි පණිවිඩයක් නිකුත් කරමින් මෙය ‘ත්‍රස්ත ප්‍රහාරයක්’ ලෙස හඳුන්වා තිබිණි. එම මොහොතේ ඉන්දීය රජය තවමත් එය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස නිල වශයෙන් තහවුරු කර නොතිබුණි.
ඊට මිනිත්තු 35කට පමණ පසු - පස්වරු 9.42ට - අගමැති මෝදි සිය X ගිණුමේ සටහනක් තබමින් පිපිරීම ගැන ශෝකය පළකළේය. එහිදී ඔහු ‘පිපිරීම’ යනුවෙන් පමණක් සඳහන් කළ අතර, ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුනාගැනීමක් එහි නොතිබුණි.
“අද සවස දිල්ලියේ සිදු වූ පිපිරීමෙන් ආදරණීයයන් අහිමිවූවන්ට ශෝකය. තුවාලකරුවන් ඉක්මනින් සුවය ලබාගන්න. බලධාරීන් සහාය දෙනු ඇත. අමිත් ෂා සමඟ තත්ත්වය සමාලෝචනය කළෙමි.” - නරේන්ද්‍ර මෝදි
මෙම සිදුවීම 2011 වසරෙන් පසු දිල්ලි නගරයේ සිදුවූ පළමු පිපිරීම වේ. දැඩි ත්‍රස්ත විරෝධී නීති යටතේ විමර්ශන ආරම්භ වී ඇති අතර, සැකකරුවන් හෝ සංවිධාන කිසිවෙකු තවමත් නම් කර නැත.
පිපිරීමට පැය කිහිපයකට පෙර ජම්මු-කාශ්මීරය, හර්යානා හා උත්තර් ප්‍රදේශ්හි සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගලයන් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර වෛද්‍යවරුන් දෙදෙනෙකු සිටින අතර, පිස්තෝල 2, රයිෆල් 2, බෝම්බ ද්‍රව්‍ය කිලෝ 2,900ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය පාකිස්ථානය පදනම් කරගත් ජයිෂ්-ඊ-මොහොමඩ් හා අන්සාර් ගස්වාත්-උල්-හින්ද් සමඟ සම්බන්ධ බව පොලිසිය පවසයි. නවදිල්ලිය මෙම කණ්ඩායම්වලට පාකිස්ථානය සහාය දෙන බව චෝදනා කරන නමුත්, ඉස්ලාමාබාද් එය ප්‍රතික්ෂේප කරයි.
දිල්ලි සිදුවීමෙන් පසු කාශ්මීරයේ ස්ථාන කිහිපයක වැටලීම් සිදුකර පුද්ගලයන් 500ක් රඳවාගෙන ප්‍රශ්න කෙරුණි. බොහෝ දෙනා පසුව නිදහස් කළ බව වාර්තා වේ.
මෝටර් රථ රියදුරු හා අත්අඩංගුවට ගත් අය අතර සම්බන්ධයක් එරට පොලිසිය විමර්ශනය කරමින් සිටී.