පුද්ගලයන් 200කට මරු කැඳවූ ඊශ්‍රායල ප්‍රහාරය
ඊශ්‍රායලය සටන්විරාම එකඟතාවය කඩකරමින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද , සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇති අතර ඊශ්‍රායලය සිය ඉලක්කය හමාස් සංවිධානය බව ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.
පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය.
මීට සති කිහිපයකට පෙර සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය වෙත සිදුකරන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කිරීමට ඊශ්‍රායලය කටයුතු කළ අතර ඒ සටන්විරාම ගිවිසුමේ පළමු අදියර තවදුරටත් දීර්ඝ කරන ලෙස බලකිරීමේ අරමුණින් බව වාර්තා වේ.
හමාස් සංවිධානය ඊට එකඟ නොවීම හේතුවෙන් ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්බුද රැසකට ලක් කරමිනි.
අනතුරුව ගාසා වෙත අතරින් පතර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, ඊයේ දිනයේදී දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණේ ය.
දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර අතර ගුවන් ප්‍රහාර ද එල්ල කර ඇති බව අල්ජසීරා මාධ්‍ය වාර්තා කර තිබුණේය.
ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධව අමෙරිකාව දැනුම්වත් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බවට වාර්තා වේ.
මේ හේතුවෙන් අවශ්‍ය වුවහොත් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත්, ඊශ්‍රායලය පවසා ඇති අතර, ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති අවකාශ ගැනත් ඉඟි පළ කර තිබූ බව වාර්තා වේ.
