උදය ගම්මන්පිලගෙන් මහින්ද රාජපක්ෂට පැමිණිල්ලක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඔහු පැමිණිලි කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානියෙකු පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වෙනිදා අතුරුදන් වී ඇති බවත් පැලවත්තේදී අතුරුදන් වී ඇති මෙම ප්‍රධානියා වහාම සොයා දෙන ලෙසටයි.
ගම්මන්පිලගේ පැමිණිල්ල තේරුම් ගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊට සිනහවකින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉන් අනතුරුව අතීත සිදුවීම් මතක් කරමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ එදා 1988-89 භීෂණ සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ අතුරුදන් වූ තරුණයින්ගේ මවුපියන් ඇතුළු පවුලේ ඥාතීන් කාල්ටන් නිවසට පැමිණ ඔය ආකාරයෙන් බොහෝ පැමිණිලි ඉදිරිපත් කළ බවයි.
මධ්‍යම රාත්‍රියේද ඔවුන් කාල්ටන් නිවසට පැමිණ එළිවෙන තුරු මෙම නිවසේ ගත කරමින් ඔවුන්ගේ අතුරුදන් වූ දරුවන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිහිපත් කර තිබෙනවා.
තමන් එම සියලුම පැමිණිලි කඩිනමින් අදාළ අංශ වෙතින් විමසීමට කටයුතු කළ බවද මහින්ද රාජපක්ෂ සදහන කර තිබෙනවා. තංගල්ල කාල්ටන් නිවසේ පසුගියදා මෙම හමුව සිදුවූ අතර ඉන් අනතුරුව එම හමුවීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා සිය මුහුණු පොතෙහි තබා ඇත්තේ මෙවැනි සටහනක්.
මහින්ද යනු මහින්දමය දශක ගණනාවක යුද්ධයක් වසර කිහිපයකින් නිමාකර බියෙන් තැතිගත් ජාතියකට අභය දානය දුන් නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව අවිවාදිතය.
එතුමා කොටි ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කළද බෙඳුම්වාදී කොටි මතය මව්බිමට පිටතින් අන් කවරදාටත් වඩා ශක්තිමත්ව අද නැගී සිට ඇත. එම බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරමින් වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමන්ගේ කොළඹ පිහිටි නිල නිවසින් ඉවත් කිරීමට කටයුතු කළේය.
කොළඹ විජේරාමයේ සිටියත්, තංගල්ලේ කාල්ටන්හි සිටියත් මහින්ද රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ ම බව මේ ළදරු ආණ්ඩුව තවමත් තේරුම්ගෙන නැත. ත්‍රස්තවාදය නිමා කිරීමට මෙන්ම මෙරට යෝධ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමටද එතුමා ලබා දුන් දේශපාලන නායකත්වයට කෘතගුණ දැක්වීමක් ලෙස මමත් පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසකුත් කාල්ටන් නිවසේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවී එතුමන්ගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරකටද එක් වීමු.
නීතිඥ උදය ගම්මන්පිල