ජාතික රෝහල ජලයෙන් යටවූ ඇත්ත හේතුව හෙළිවෙයි - නොරිස් ඇළේ කුණු සහ අනවසර ඉදිකිරීම් නිසා රෝගීන් අමාරුවේ
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් පසු කොළඹ ජාතික රෝහලේ සියලු මෙහෙයුම් කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ.
ගංවතුරෙන් බලපෑමට ලක් වූ රෝහල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය කඩිනම් පියවර ගෙන ඇති අතර, පැය කිහිපයක් ඇතුළත එම කටයුතු අවසන් කර සාමාන්‍ය රෝහල් සේවා යළි ආරම්භ කිරීමට හැකි වී තිබේ.
කොළඹ නගරයට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමඟ මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පැය කිහිපයක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඇතුළු අංශ කිහිපයක් අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවීම සම්බන්ධයෙන් නොරිස් ඇළ නිසි පරිදි පිරිසිදු කර නඩත්තු නොකිරීම හේතුවක් වී ඇති බව සදහන්ය
ඊයේ (06) පස්වරුවේ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවිය. එහි බලපෑමෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ අංශය, ශල්‍යාගාර සහ රෝගී වාට්ටු කිහිපයක් ද ජලයෙන් යටවී තිබේ.
ජල ගැලීම් හේතුවෙන් හදිසි අනතුරු අංශයේ විදුලි සෝපාන කිහිපයක් ද අක්‍රීය වී ඇති අතර, රෝගීන් වෙනත් වාට්ටු වෙත මාරු කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබුණි.
නොරිස් ඇළ දෙපස සිදුකර ඇති අනවසර ඉදිකිරීම් සහ වෙළඳසැල්වලින් අවිධිමත් ලෙස ඇළට කසළ බැහැර කිරීම ඇතුළු ක්‍රියාකාරකම් හේතුවෙන් ජලය බැසයාමට බාධා ඇතිවී මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ද වාර්තා වේ.
මේ අතර, අධික වර්ෂාවත් සමඟ කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ පස්වරුවේ පැය කිහිපයක් ඇතුළත කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් ලැබුණු බවයි.