යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට දැඩි විරෝධයක් - වහාම ඉදිකිරීම් අත්හිටුවන්නැයි ඉල්ලයි
මණ්ඩතිව් දූපතේ යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ ක්‍රීඩා සංකීර්ණයට අදාළ ඉදිකිරීම් කටයුතු වහාම අත්හිටුවන මෙන් වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) මඟින් ඉල්ලා සිටියි.
ඒ ඔවුන් අනිවාර්ය පාරිසරික අනුමැතිය ලබාගෙන නොමැති බවට චෝදනා කරමින්.
ඒ අනුව නිකුත් කළ නිවේදනයක, වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය සඳහන් කළේ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ අවශ්‍ය ව්‍යවස්ථාපිත අවසරයන් නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි.
එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය මඟින් මූලික පාරිසරික පරීක්ෂණයක් (IEE) හෝ පාරිසරික බලපෑම් තක්සේරුවක් (EIA) පවත්වා හෝ අනුමත කර නොතිබෙන පසුබිමක එම ස්ථානයේ දැනට භූමිය සැකසීමට යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වන බවත් ඉදිකිරීම් ද්‍රව්‍ය දැනටමත් ප්‍රවාහනය කර ඇති බවත් අඳාළ සංගමය චෝදනා කරයි.
එම සංගමය සඳහන් කරන ආකාරයට පූර්ව පාරිසරික නිෂ්කාශනයකින් තොරව නියමිත සංවර්ධන කටයුතු ආරම්භ කිරීම නීතිය උල්ලංඝනය කිරීමකි.
මේ අතර චෝදනා එල්ල වන උල්ලංඝනයන් සම්බන්ධයෙන් අදාළ නියාමන බලධාරීන්ට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇතත් ව්‍යාපෘතිය නැවැත්වීමට කිසිදු තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් පරිසරවේදීන් විසින් මෙම මණ්ඩිතිව් දූපත ලුණු වගුරු බිම්, මඩ තලා, කඩොලාන, මුහුදු තෘණ පාත්ති සහ වෙරළබඩ තෙත්බිම්වලින් සමන්විත පාරිසරික ලෙස සංවේදී ප්‍රදේශයක් වශයෙන් හඳුන්වයි.
එමෙන්ම මෙම යෝජිත ව්‍යාපෘති භූමිය මණ්ඩිතිව් කඩොලාන රක්ෂිත වනාන්තරය අසල සහ කලාපීය සැලසුම් රාමු යටතේ ඉතා සංවේදී බව සැලකෙන ප්‍රදේශයක් තුළ පිහිටා ඇති බව පවසයි.
තවද වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය අනතුරු අඟවන්නේ සෘතුමය වැසි සමයේදී දිවයින ස්වාභාවික ගංවතුර රඳවා ගැනීමේ කලාපයක් ලෙස ක්‍රියා කරන බැවින් මහා පරිමාණ ඉදිකිරීම් ගංවතුර අවදානම වැඩි කළ හැකි බවයි.
එසේම ස්වාභාවික වෙරළබඩ ආරක්ෂක දුර්වල කළ හැකි බවත් සඳහන් කරයි.
ඊට අමතරව කඩොලාන සහ මුහුදු තෘණ පරිසර පද්ධති මත යැපෙන දේශීය ධීවර ප්‍රජාවන්ට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ද මෙම කණ්ඩායම කනස්සල්ල පළ කර ඇත.
කෙසේ වෙතත් මෙම සංගමය අඳාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ පාරිසරික රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙසත් සංවර්ධන ව්‍යාපෘති නීතිමය සහ තිරසාර ප්‍රමිතීන්ට අනුකූල වන බවට සහතික වන ලෙසත් ය.