පන්දුව වැලි කඩදාසියෙන් පළුදු කළ රහස කැමරාවට හසුවූ හැටි - වසර 8කට පසු ලෝකයම දැනගත් කතාවේ සම්පුර්ණ කතාව
2018 වසරේදී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවම දැඩි ආන්දෝලනයකට ලක් කළ ‘සෑන්ඩ්පේපර්ගේට්’ (Sandpapergate) පන්දුව පළුදු කිරීමේ සිදුවීම අහඹු ලෙස කැමරාවට හසුවූ ආකාරය පිළිබඳව දකුණු අප්‍රිකානු රූපවාහිනී විකාශන කටයුතු භාරව සිටි නිලධාරියෙකු වන ඇල්වින් නයිකර් (Alvin Naicker) අලුත් තොරතුරු හෙළි කර තිබේ.
ඔහු පවසන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා භාවිත කළ වැලි කඩදාසි කැබැල්ලක් සඟවන ආකාරය කැමරා ශිල්පියෙකු අහඹු ලෙස සමීප රූපගත කිරීමකට හසුකර ගැනීම මෙම සිදුවීම අනාවරණය වීමට හේතු වූ බවයි.
2018 වසරේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප් ටවුන්හි පැවති ටෙස්ට් තරගය අතරතුර මෙම සිදුවීම සිදුවිය.
එවකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දැරූ ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීමේ සිද්ධියට වරදකරුවන් වූහ.
බීබීසී පුවත් සේවය උපුටා දක්වමින් නයිකර් සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ ක්‍රියාව හෙළිවූයේ සම්පූර්ණයෙන්ම පාහේ අහඹු සිදුවීමක් හේතුවෙන් බවයි.
රග්බි සහ පාපන්දු තරග විකාශනය කිරීමේදී කැමරා කටයුතු බොහෝ දුරට සැලසුම් සහගතව සිදුකෙරෙන නමුත්, එම ටෙස්ට් තරගයේදී සිදුවූයේ වෙනස්ම දෙයක් බව ඔහු පැහැදිලි කර තිබේ.
තරගාවලියේ පළමු තරගය ඩර්බන්හිදී පැවති අවස්ථාවේදී ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවත්, දෙවැනි ටෙස්ට් තරගයේදීද එවැනි සිදුවීම් දක්නට ලැබුණු බවත් නයිකර් සිහිපත් කර ඇත.
එහෙත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දුව පළුදු කිරීමේ වංචාවක නිරත වන බවට එවකට විකාශන කණ්ඩායමට සැකයක් නොතිබූ බව ඔහු පවසා තිබේ.
සිදුවීම අනාවරණය වූ ආකාරය විස්තර කරමින් ඔහු සඳහන් කර ඇත්තේ පන්දුව කඩුලු රකින්නා අතට ගිය පසු එය බැන්ක්‍රොෆ්ට් වෙත ලැබුණු බවයි. ඔහු මුලින්ම තම කලිසමේ පන්දුව අතුල්ලමින් එය ඔප දැමීමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත්, ඊළඟ අවස්ථාවේදී බැන්ක්‍රොෆ්ට් පන්දුව තම කලිසමේ අතුල්ලනවා වෙනුවට අත්ල මත අතුල්ලන ආකාරය කැමරා ශිල්පියාගේ අවධානයට ලක්ව ඇත. ඒ හේතුවෙන් කැමරා ශිල්පියා ඔහු වෙතම කැමරාව යොමු කරගෙන සිට තිබේ.
පසුව බැන්ක්‍රොෆ්ට් පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තම අත කලිසම් සාක්කුවට දැමූ අවස්ථාවේදී කැමරා ශිල්පියා විශාල විශාලන හැකියාවක් සහිත කැමරාවෙන් එම සාක්කුව සමීපව රූපගත කර ඇත.
එම දර්ශන මන්දගාමී රූපරාමු ඔස්සේ නැවත පරීක්ෂා කළ විකාශන කණ්ඩායමට සාක්කුව තුළ තිබූ කහ පැහැති වැලි කඩදාසි කැබැල්ල දැකගැනීමට හැකිවූ බව නයිකර් සඳහන් කර තිබේ.
ඉන් අනතුරුව එම දර්ශන විශාල තිරයේ නැවත ප්‍රදර්ශනය කර ඇති අතර, එය දුටු බැන්ක්‍රොෆ්ට් වැලි කඩදාසිය ඉවත් කර තම යට ඇඳුම තුළ සඟවා ගැනීමට උත්සාහ කර තිබේ. එම ක්‍රියාවද කැමරාවට හසුව තිබුණද, එම දර්ශන ඒ මොහොතේ සජීවීව විකාශය කර නොතිබූ බව නයිකර් පැහැදිලි කර ඇත.
මෙම සිදුවීමෙන් පසුව ස්ටීව් ස්මිත් සජීවී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කඳුළු සලමින් සිදුවීමේ වගකීම භාරගත්තේය. කෙසේ වෙතත්, ඔහුගේ නායකත්වය අහිමි වූ අතර ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරගවලින් මාස 12ක තහනමක්ද පැනවිණි.
ඩේවිඩ් වෝනර්ටද මාස 12ක තරග තහනමක් පැනවුණු අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව තුළ නායකත්ව තනතුරු දැරීමද ඔහුට තහනම් කෙරිණි. කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් තරගවලින් මාස නවයක තහනමක් පනවනු ලැබීය.
එම ආන්දෝලනාත්මක සංචාරයෙන් පසුව අද වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ රැඳී සිටින ක්‍රීඩකයා ස්ටීව් ස්මිත් පමණක් බව වාර්තාවේ සඳහන් වේ.
ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන ඇති අතර, බැන්ක්‍රොෆ්ට් මේ වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සැලසුම්වලට ඇතුළත් නොවේ.
මේ අතර, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත නව ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 9 වැනිදා ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
2018 වසරේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් පසුව කණ්ඩායම් දෙක දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගයකට එක්වන පළමු අවස්ථාව මෙය වේ.
ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක වන දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම තරගාවලියටද ක්‍රිකට් ලෝලීන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ. පසුගිය ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජය කර ශූරතාව දිනාගත්තේ දකුණු අප්‍රිකාවයි.