හැමෝම බලන් හිටපු කොළඹ පුරපති සටනේ අවසාන තීන්දුව
පැවති පළාත් පාලන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව එහිදී ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව ඇති බව සඳහන්.
පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට තනි පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පූර්ණ ජයග්‍රහණයක් හිමි වූයේ නැත.
ප්‍රතිඵල අනුව හිමි වූයේ ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක්, ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් වශයෙනි.
තවද එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමි වී ඇත.
එසේ වුවද සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීමට නම් යම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය වේ.
ඒ තත්ත්වය මත කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමි නොවීම නිසා කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ඒ එහි මංගල රැස්වීම ජුනි 16 වැනිදා පැවැත්වෙන බව සඳහන් කරමින්.
