සයිබර් තර්ජනවලින් ආරක්ෂා වෙන්න මහජනතාවට දැනුම්දීමක් - මාර්ගෝපදේශය මෙන්න
රථවාහන වැරදිවලට අදාළව වේග සීමා උල්ලංඝනය වන බවට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් යොමු කරන ආකාරයේ පණිවිඩයක් මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් වෙත යොමු වන බවට අධිවේගී මාර්ග කොට්ඨාසයේ අන්තර් හුවමාරු ඒකකය වෙත පැමිණිලි වාර්තා වී ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, මහජනතාව මෙවැනි නොමඟ යවන සුලු පණිවිඩ සහ ඒ ආශ්‍රිත සයිබර් තජනවලට (Phishing and online scams) ගොදුරු වීම වැළැක්වීම සඳහා පහත සඳහන් උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසට පොලිසිය වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
1. කෙටි පණිවිඩ (SMS), විද්‍යුත් තැපෑල (Email) හෝ වෙනත් සන්නිවේදන යෙදුම් (Messaging apps) හරහා ලැබෙන සැකකටයුතු සබැඳි (Links) හා යොමු කරන ලද පණිවිඩ වල ඇති අන්තර්ජාල දිගු මත ක්ලික් කිරීමෙන් වැළකී සිටීම.
2. ඕනෑම සබැඳියක් (Link) විවෘත කිරීමට හෝ ඊට ප්‍රතිචාර දැක්වීමට පෙර, වෙබ් අඩවියේ නිවැරදිතාව සහ එවූ පාර්ශවයේ තොරතුරු (Sender details) හොඳින් පරීක්ෂා කර බැලීම.
3. හඳුනා නොගත් සබැඳි හෝ වෙබ් අඩවි හරහා පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් විස්තර, OTP කේත හෝ මුරපද (Passwords) හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීම.
4. තොරතුරුවල නිවැරදිතාව නිල පොලිස් මාධ්‍ය ප්‍රකාශන සහ රජයේ නිල වෙබ් අඩවි හරහා පමණක් තහවුරු කර ගැනීම.
5. සැකකටයුතු පණිවිඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම.
6. ආරක්ෂක අවදානම් අවම කර ගැනීම සඳහා ජංගම දුරකථන සහ මෘදුකාංග යෙදුම් (Applications) නිරන්තරයෙන් යාවත්කාලීන (Update) කර තබා ගැනීම.
7. හදිසි අවශ්‍යතාවයක්, තර්ජනයක් හෝ වහාම මුදල් ගෙවන ලෙස දන්වා ලැබෙන පණිවිඩ කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් වීම.
ඉහත කරුණු අනුගමනය කිරීම මගින් මහජනතාව මෙවැනි අපහසුතාවයන්ට පත්වීම වැළැක්වීම අවම කර ගැනීමට හැකිවන අතර සයිබර් අපරාධ අවම කිරීමට විශාල පිටුවහලක් වනු ඇත.
මෙම තත්ත්වය පිළිබඳව මෙයට පෙර අවස්ථාවකදී ද මහජනතාව දැනුවත් කරන ලද අතර මහජනතාවගේ දැනගැනීම සඳහා ඉහත නිවේදනය සම්බන්ධයෙන් නැවතත් ඔබ මාධ්‍ය ආයතනය මගින් ප්‍රචාරයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය.