ලොවම කම්පා කරමින් පණපිටින් 40ක් පිලිස්සී මියයාමට ප්‍රසිද්ධියේ සමාව
මෙක්සිකානු ඉතිහාසයේ සිදුවූ දරුණුතම සංක්‍රමණික ඛේදවාචකයකින් මියගිය සංක්‍රමණිකයන් 40 දෙනකු වෙනුවෙන් මෙක්සිකෝවේ හිටපු සංක්‍රමණික ප්‍රධානියා වූ ෆ්රැන්සිස්කෝ ගාර්දුනෝ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.
මෙලෙස සමාව ඉල්ලීමට හේතුව 2023 වසරේදී සියුඩාඩ් හුවාරෙස් දේශසීමා නගරයේ පිහිටි සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් 27 දෙනෙකු තුවාල ලැබූ අනතුරටය.
වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් ඉදිරිපිටදී සිදුවූ මෙම සමාව අයැදීම, ඔහුට සිර දඬුවම්වලින් මිදීමට ඉඩ සලසන උසාවි නියෝගයක කොටසක් වූ අතර 2023 මාර්තු මාසයේදී සිදුවූ මෙම ගිනි අනතුර සිදු විය. මෙක්සිකෝවේ සංක්‍රමණික රැඳවුම් පහසුකම්වල පැවති දිගුකාලීන දූෂණ සහ අමානුෂික තත්ත්වයන් පිළිබඳ චෝදනා කෙරෙහි මෙහිදී ලෝකයේම අවධානය යොමු වී තිබුණා.
“ඔබට සහ ඔබේ පවුල්වලට සිදු වූ දුක් වේදනා සහ හානිය සම්බන්ධයෙන් මාගේ බලවත්ම සමාව අයැදීම” පිරිනමන බවත්, “ඔබගේ ජීවිත සදහටම වෙනස් වී ඇතැයි” ගාර්දුනෝ පැවසුවා. මෙම ඛේදවාචකය ආරම්භ වූයේ, රැඳවුම් මධ්‍යස්ථානයේ පැවති තත්ත්වයන්ට විරෝධය දැක්වීමක් ලෙස සංක්‍රමණිකයන් දෙදෙනෙකු මෙට්ටයක් ගිනි තැබීමෙන් පසුව බව මෙක්සිකෝ බලධාරීහු පවසා තිබෙනවා.
ආරක්ෂක කැමරාවක වීඩියෝවක් මඟින් පෙනී යන්නේ, මධ්‍යස්ථානය දුමෙන් පිරී යන විට මුරකරු ආරක්ෂක නිලධාරීන් ඉවත්ව යන නමුත්, සංක්‍රමණිකයන් මුදා හැරීමට ඔවුන් කිසිදු උත්සාහයක් නොදැරූ බවයි. සිර මැදිරියේ යතුර තිබූ පුද්ගලයා නොසිටි බව මෙක්සිකෝවේ හිටපු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රඩෝර් සඳහන් කර තිබුණා.
රජයේ නීතිඥයන් චෝදනා කළේ ඉහළම සංක්‍රමණික නිලධාරීන් "තමන් භාරයේ සිටි පුද්ගලයන්ගේ හා පහසුකම්වල ආරක්ෂාව නිරීක්ෂණය කිරීමට, ආරක්ෂා කිරීමට හා සහතික කිරීමට" අපොහොසත් වූ බවයි.
ඔවුන් පැවසුවේ මෙම සිද්ධිය "වගකීම් විරහිතභාවයේ රටාවක්" පෙන්නුම් කරන බවයි. ජනවාරි මාසයේදී සියුඩාඩ් හුවාරෙස් හි විනිසුරුවරයෙකු විසින් ගාර්දුනෝට එරෙහිව තිබූ චෝදනා ඉවත් කළා. මෙම සිද්ධියට චෝදනා ලැබූ ඉහළම නිලධාරියා ද ඔහුයි. ඒ, මානව හිමිකම් පාඨමාලා හැදෑරීම සහ දිවි ගලවා ගත් අයට සහ ඥාතීන්ට ප්‍රසිද්ධියේ සමාව අයැදීම ඇතුළු කොන්දේසි කිහිපයකට ඔහු එකඟ වීම නිසයි. ගාර්දුනෝගේ මෙම ප්‍රසිද්ධියේ සමාව අයැදීමට විරුද්ධ වූ පිරිසක් ද සිටියා. ඒ වින්දිතයන් නියෝජනය කළ සංක්‍රමණික අයිතිවාසිකම් කණ්ඩායම්.
ඊයේ නිකුත් කළ ප්‍රකාශයක් මගින්, මානව හිමිකම් කණ්ඩායම් හතරක් පවසා තිබුණේ, ගාර්දුනෝගේ සමාව අයැදීම වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට වන්දි ගෙවීමේ "සංකේතාත්මක පළමු පියවරක්" පමණක් බවයි. එම කණ්ඩායම් වැඩිදුරටත් අවධාරණය කළේ, ප්‍රසිද්ධියේ සමාව අයැදීම වගකීමෙන් මිදීමක් හෝ පසුතැවිලි වීමේ ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය යුතු නැති බවයි.
එමෙන්ම, එය එවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතිකයක් ලබා නොදෙන බවද ඔවුන් ප්‍රකාශ කළා. ගින්නෙන් දිවි ගලවා ගත් වෙනිසියුලානු සංක්‍රමණිකයෙකු වන එස්ටෙෆාන් අරගෝන් පැවසුවේ, ඔහු අද දක්වාම බරපතල පෙනහළු හා ශ්වසන ගැටලුවලින් පීඩා විඳින බවයි. “ප්‍රසිද්ධියේ සමාව අයැදීමෙන් මගේ සෞඛ්‍යය යථා තත්ත්වයට පත්වන්නේ නැහැ,” ඔහු පවසා තිබුණා.
“අපට උපකාරයි ඕනෑ”. මෙක්සිකානු රජය මියගිය පුද්ගලයන් 40 දෙනාගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම තුවාල ලැබූවන්ට ද එක් අයෙකුට පෙසෝ මිලියන 3.5 ක් පමණ (ඩොලර් 190,000 ක්) ගෙවා තිබෙනවා.
ගින්න ඇවිලවූ බවට චෝදනා ලබන වෙනිසියුලානු සංක්‍රමණිකයන් දෙදෙනෙකුට මෙන්ම හිටපු සංක්‍රමණික නිලධාරීන් 10 දෙනෙකුට සහ පුද්ගලික ආරක්ෂක නිලධාරීන්ට එරෙහිව රජයේ නීතිඥවරු තවමත් චෝදනා ඉදිරිපත් කරමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.