මොහුව දුටු සැණින් කියන්න - පොලිසියෙන් නිවේදනයක්
මෙම මස මුලදී කළුතර උතුර පොලිස් කොට්ඨාශයේ සිදු වූ මාරාන්තික වෙඩි තැබීමකට අදාළව අවශ්‍ය බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.
ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඉකුත් පෙබරවාරි 14 වන දින සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. එහිදී හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ගිනි අවියක් භාවිතා කර වෙඩි තබා තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස පරිශ්‍රය තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව ඝාතනයට වගකිව යුතු අය හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර පොලිසිය සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණ සිදු කරයි.
මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණ මත පදනම්ව, සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන එක් සැකකරුවෙකුගේ තොරතුරු පොලිසිය මඟින් නිකුත් කර ඇත. අඳාළ සැකකරු වයස අවුරුදු 27 ක් පමණ වන අඳුරු පැහැයක් ඇති පිරිමියෙකු ලෙස විස්තර කර ඇත.
මෙම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
• කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති - 071 8591692
• කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති - 071 8596395
එමෙන්ම මෙම තොරතුරු බෙදා ගනිමින් විමර්ශනයට සහාය වන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.