"පුස් සටන් පාඨ පස්සේ ගියොත් රට හැදීමේ අරමුණ ඉවරයි" - හිටපු කථානායකවරයා වර්තමාන යථාර්ථය කියයි
අතීතයේ පැවති සාම්ප්රදායික සටන් පාඨවලින් ඔබ්බට ගොස්, අනාගතය වෙනුවෙන් රට ගොඩනැගීමේ බරපතළ අභියෝගයක් වර්තමානයේ තමන් හමුවේ පවතින බව හිටපු කතානායක සහ ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ වෘත්තීය සමිති ක්රියාකාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදීය. එහිදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, අතීතයේ වෘත්තීය සමිති ක්රියාත්මක වූ විනය හා ශික්ෂණයට වඩා වර්තමාන සමාජය වෘත්තීය සමිතිවලින් ඉහළ වෘත්තීය වගකීමක් සහ ශික්ෂණයක් අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, අතීතයේ ඉදිරිපත් වූ සුළු සුළු සටන් පාඨ සහ ඉල්ලීම් අද කාලයේ එලෙසම සාක්ෂාත් කර ගැනීම ප්රායෝගික නොවන බවද ඔහු පිළිගත්තේය.
රට තුළ සැබෑ සමාජ පරිවර්තනයක් සිදුවෙමින් පවතින අවස්ථාවක, එම ක්රියාවලිය තුළින් වෘත්තීය සමිතිවලට මෙන්ම පොදු ජනතාවටද ප්රතිලාභ ස්වභාවිකවම ලැබෙන බව ඔහු සඳහන් කළේය. එසේ නොමැතිව, හුදු 'පුස් සටන් පාඨ' පමණක් පෙරදැරි කරගෙන බලහත්කාරයෙන් ඉල්ලීම් ඉටු කර ගැනීමට උත්සාහ කළහොත්, රට ගොඩනැගීමේ මූලික අරමුණ අහිමිවී යා හැකි බවද මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.