කැලණි, කළු සහ අත්තනගලු ඔය දෙපස ජනතාවට හදිසි නිවේදනයක්
කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
අත්තනගලු ඔය ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 සඳහා දීර්ඝ කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය පැය 24 තුළ ලැබුණු වර්ෂාපතන අගයන් අනුව වැඩිම වර්ෂාපතනයක් කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව වාර්තා වී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ගංගාවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින අතර දැඩි වැඩිවීමක් මේ වන විට නොපෙනෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
කැලණි ගඟේ නාගලගම වීදිය ප්‍රදේශයේ ජල මට්ටමද ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර ඇල්ලගාව සහ මිල්ලකන්ද ප්රදේශවලද ජල මට්ටම් අඩුවෙමින් පවතින බව වාර්තා වේ.
එසේ වුවද, තවදුරටත් අධික වර්ෂාපතනයක් ඇති වුවහොත් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානම ඉහළ යා හැකි බැවින් අදාළ ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.