ජූලි - සැප්තැම්බර් මාස ඉතා අවදානම් කාලගුණය උඩු යටිකුරු කරමින් වෙන්න යන දේ ගැන අනතුරු ඇගවීමක්
ලෝක කාලගුණ විද්‍යා සංගමය පෙන්වා දෙන්නේ මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගර කලාපයේ මුහුදු පෘෂ්ඨයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ ස්වභාවික දේශගුණික රටාව වන එල් නිනෝ සංසිද්ධිය ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ වඩාත් තීව්ර වීමට ඉඩ ඇති බවයි.
සාමාන්‍යයෙන් වසර දෙකක් හෝ හතක් අතර කාලයකට වරක් ඇති වන මෙම තත්ත්වය මාස නවයක සිට අවුරුද්දක් වැනි කාලයක් පැවතිය හැකියි.
එල් නිනෝ සංසිද්ධීන් දුර්වල, මධ්‍යස්ථ, දැඩි සහ ඉතා දැඩි වශයෙන් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරන අතර මෙවර එය තුන්වැනි උපරිම මට්ටම හෙවත් දැඩි තත්ත්වයක් ලෙස වර්ගීකරණය කර තිබේ.
මෙයින් අදහස් කරන්නේ සාගර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 1.5°C සිට 2.0°C දක්වා ප්‍රමාණයකින් ඉහළ යාමයි.
ලංකාව වැනි සමකයට ආසන්න රටවලට මෙම එල් නිනෝ තත්ත්වයෙන් සෘජු බලපෑම් එල්ල වන බැවින් වී සහ අනෙකුත් බෝග වගාවන්ට අවශ්‍ය ජලය හිඟ වී අස්වැන්න අඩු වීමේ අවදානමක් පවතී.
එමෙන්ම ප්‍රධාන ජලාශවල ජල මට්ටම වේගයෙන් පහත වැටීම නිසා ජල විදුලි උත්පාදනය අඩාල විය හැකි අතර අධික උෂ්ණත්වය හේතුවෙන් විජලනය, සූර්යතාපය සහ උණ රෝග පැතිරීමේ ප්‍රවණතාවද ඉහළ යයි.
ගෝලීය දේශගුණික විපර්යාස සහ මිනිසා විසින් සිදුකරන හරිතාගාර වායු විමෝචනය නිසා, ස්වභාවිකව ඇතිවන මෙම එල් නිනෝ තත්ත්වයන්හි දරුණුකම වෙනදාට වඩා බෙහෙවින් වැඩි වී ඇති බව පරිසර විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.