"ඩොලරය 450ට ගියත් කමක් නෑලු" - මුදල් අමාත්‍යාංශයේ කෙරුවාව නාමල් රාජපක්ෂ රටටම හෙළි කරයි
මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට සහ පාර්ලිමේන්තුවට පමණක් හිමි වන අතර, කිසිදු පක්ෂ ලේකම්වරයෙකුට ඒ පිළිබඳ ප්‍රකාශ කිරීමේ අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24) පානදුරේ පැවති මහජන රැළියක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, ආණ්ඩු පක්ෂයේ ලේකම්වරයෙකු යාපනයේදී “මෙවර මැතිවරණයක් නොපැවැත්වෙන බව” ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධය පළ කරන බවයි.
“මැතිවරණයක් තියෙනවද නැද්ද කියන තීරණය ගන්න ඕනේ මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තුව. පක්ෂයක ලේකම්වරයෙක්ට එවැනි ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ” යැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුවට රටේ ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා නිසි වැඩපිළිවෙළක් නොමැති බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
පසුගිය ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීමෙන් හෝ “හැකර් ප්‍රහාර” ගැන කතා කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳිය නොහැකි බව පවසමින්, රට ඉදිරියට ගෙන යාම සඳහා පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහළ ගියද ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳ ගැටලුවක් නොමැති ලෙස කටයුතු කරන බවද ඔහු චෝදනා කළේය.
මැතිවරණ සමයේදී ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් බොහෝ පොරොන්දු මේ වන විට ඉටු නොවූ බොරු බවට පත්ව ඇති බවද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඩොලර් බිලියන 18ක් රටට ලැබෙන බව, අඩු මිලට වාහන ලබාදෙන බව, උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බව සහ තරුණයන්ගේ ආර්ථික ගැටලු විසඳන බවට ලබාදුන් පොරොන්දු කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවද ඔහු පැවසීය. “තරුණ පරම්පරාවට විශාල බලාපොරොත්තු දීලා අද ඒ හැම දෙයක්ම බොරු බවට පත්වෙලා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.